IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගුවන් යානා බදු ගන්නේ ඇයි?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.

අදාළ සියලු‍ තොරතුරු මනාව සලකා බැලීමෙන් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් අදහසයි.

ඒ අනුව, පහත ප්‍රශ්න සඳහා ලබා දී ඇති පිළිතුරු මගින්, ඉහත කාරණාව වඩා නිවැරදි හා දැනුවත්භාවයකින් යුතුව විශ්ලේෂණය කිරීමට හැකි වෙතැයි ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශ්වාස කරයි.

ප්‍රශ්නය:- ගෝලීය වෙළෙඳපොළ හරහා ගුවන් යානා ලබාගැනීමට අදාළ විකල්ප තුළ බදු ක්‍රම සොයාබැලීම පිළිබඳ කළමනාකාරිත්ව යෝජනාවේ සහ ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ පදනම කුමක්ද?

පිළිතුර:- කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ මූලික අවධානය යොමුව තිබුණේ, දැනට කල් ඉකුත්ව ඇති/කල් ඉකුත්වීමට අත්‍යාසන්න, බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා දොළහක් (12) ප්‍රතිස්ථාපනය කිරීම කෙරෙහි ය. ඉන් ගුවන් යානා නවයක් (09), 2022/23 වර්ෂයේ අගභාගයේ සිට 2025 වසර අතරතුර කාලයේදී ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තවත් යානා තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් තිබේ.

නිසි වේලාවට ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීමට අපොහොසත් වුවහොත් ගමනාන්ත රැසක් අත්හැර දැමීමට ගුවන් සමාගමට සිදුවනු ඇති. ගුවන් සේවය වසා දැමීමට හෝ එහි පරිමාණය අඩු කිරීමට කොටස්හිමියා වන ශ්‍රී ලංකා රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති (රාජ්‍ය බැංකු ඇතුළු ණය හිමියන්ට එවැනි ක්‍රියාමාර්ගයකින් අනිටු ප්‍රතිවිපාක උදාවනු ඇත) වාතාවරණයක, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් නොගැනීම ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමක් ලෙස සැලකෙනු ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් උපායමාර්ග අතර සම්බන්ධතාව ද මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. මෙම කාරණාව පිළිබඳව පහත දැක්වෙන විශේෂිත ප්‍රශ්න සහ පිළිතුරු හරහා වඩාත් විස්තර කෙරෙනු ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඉපැයීම්වලින් සියයට 85 අමෙරිකානු ඩොලර්වලින් උපයන ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ මුදල් සපයන්නෙකු (අපනයන ව්‍යාපාරයකට සමාන ලෙසින්) වීමත්, ගුවන් යානා අඩු වීම හරහා ගුවන් සේවයේ විදේශ මුදල් ඉපැයීමේ ධාරිතාව අඩු වීම මගින් රටේ විදේශ මුදල් තත්ත්වයට විය හැකි අහිතකර බලපෑමයි.

දැනට ගුවන් යානා බදු වෙළෙඳපොළ අනුපාත ඉතා අඩු මට්ටමක පැවතීම ද කළමනාකාරීත්වයේ මෙම යෝජනාවට ප්‍රධාන හේතුවකි. (වත්මන් බලඇණියට සාපේක්ෂව 20-40% ක ඉතිරියක් ලබාගත හැකිවනු ඇති) වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති සහ නඩත්තු කිරීමට පහසු, වියදම් අඩු ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ගුවන් සමාගමට අවස්ථාව උදාවනු ඇත. මෙම සියලු‍ සාධක හරහා ගුවන් සමාගමේ ආදායම වර්ධනය කිරීමට හැකි වනු ඇති.

එසේම මෙම අඩු බදු සහ මෙහෙයුම් පිරිවැයෙන් ඉදිරි වසරවල පුරෝකථනය කරන ලද සංචාරක ඉල්ලු‍මෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීම සඳහා 2023-2025 කාලය තුළ තවත් ගුවන් යානා නවයකින් (09) ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ද කළමනාකාරිත්වය විසින් අනුමැතිය ඉල්ලා සිටින ලදී.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියත් කර ඇති මෙම ක්‍රියාවලිය හරහා ගුවන් යානා බදු ගැනීමට මෙම අවස්ථාවෙහිදී බැඳී සිටී ද?

පිළිතුර:- නැත

ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ අනාගත අදියරකදී වුවද කුමන හෝ හේතුවකට ගුවන් යානා බදු පදනම මත ලබා නොගැනීමට ගුවන් සමාගම තීරණය කළ ද, මෙම යානා 21 අනිවාර්යයෙන් බදුගැනීම සඳහා සමාගම බැඳී සිටින්නේද?

පිළිතුර:- නැත. අවශ්‍ය ගුවන් යානා ඕනෑම බදු ක්‍රමයට ලබාගැනීමට හෝ අවශ්‍ය නම් සම්පූර්ණ ක්‍රියාවලියම අත්හැර දැමීමේ නිදහස ගුවන් සමාගම සතු ය. සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එවැනි බැඳීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.

ප්‍රශ්නය:- ගුවන් සමාගමේ අරමුණ වන්නේ අලු‍ත් ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීම ද?

පිළිතුර:- නැත. ගුවන් සමාගමේ  අවධානය ප්‍රධානව යොමුව ඇත්තේ, එහි මෙහෙයුම් පිරිවැය ව්‍යුහය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අරමුණින්, පාවිච්චි කරන ලද ගුවන් යානා ලබාගැනීම සඳහා පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වය ගවේෂණය කිරීම ය.

ප්‍රශ්නය:- මෙම ගුවන් යානා බද්දට ගැනීම ශ්‍රී ලංකා රජයට අමතර බරක් වනු ඇත්ද?

පිළිතුර:- නැත. සියලු‍ බදු ගෙවීම් සමාගම උපයාගත් විදෙස් විනිමය මගින් සිදු කෙරෙනු ඇත.

ප්‍රශ්නය:- ගුවන්යානා කුලියට ලබාගන්නේද නැද්ද යන්න සහ ලබාගන්නේ නම්, අදාළ ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, ගුවන් යානා වයස යනාදිය ගැන කිනම් කාලයක් වනවිට තීරණයක් ගැනීමට ගුවන් සමාගමට සිදුවේද?

පිළිතුර:- 2022 ඔක්තෝබර් වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තීරණ ගැනීමේ මට්ටමට ප්‍රගතියක් ලබා ඇත්නම් එය වඩාත් සුදුසු වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීම තුළ 2023 මාර්තු මාසයේ සිට ගුවන් ගමනාන්ත කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර මේ නිසා සමාගමේ ආදායම අඩුවීමට ඉඩ ඇත.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආර්ථිකය සතු විදේශ මුදල් සංචිත පරිභෝජනය කරන්නේද?

පිළිතුර:- නැත,  සාමාන්‍ය මෙහෙයුම් තත්ත්ව යටතේ ශ්‍රී ලංකන් සමාගම එහි ආදායමෙන් සියයට 85ක් විදේශ මුදල් උපයන ආයතනයකි. එසේ වුව ද, වසංගත හෝ රට තුළ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ගුවන් සේවා ව්‍යාපාරය යම් බිඳවැටීමකට ගොදුරු විය හැකි බව සඳහන් කළ යුතුය.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවකදී, කල් ඉකුත්වන බදු ගිවිසුම් වෙනුවෙන් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම හෝ අලු‍ත් ගුවන්යානා ලබාගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ යුතුද?

පිළිතුර:- ගුවන් සේවයේ මෙහෙයුම් තුළින් රට තුළට විදේශ විනිමය ගලා එන පසුබිමක, ගුවන් යානා සංචිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් ජනනය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එය, රටේ විදේශ විනිමය ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත. සමාගමේ විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය වීම රටේ ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති. එබැවින් සමාගමෙහි සහ කොටස් හිමියාගේ යහපත උදෙසා අඩු මුදලකට ගුවන් යානා ප්‍රතිස්ථාපන කිරීමටත්, නව මුදල් උත්පාදන මාර්ග සුපරික්ෂාකාරීව තෝරාගැනීමටත් නොකඩවා ව්‍යාපාරය ඇගයීම සිදුවිය යුතුය.

ප්‍රශ්නය:- 2022 වසර අවසානය වන විට මෙම යෝජනාව පිළිබඳව කොටස් හිමියාට (ශ්‍රී ලංකා රජයට) නිර්දේශයක් කිරීමට නම්, අධ්‍යක්ෂ මණ්ඩලයට සම්පූර්ණ කළ යුතු පියවර මොනවාද?

පිළිතුර:- විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා ගුවන් යානා බද්දට සැපයීම සඳහා විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනා ගැනීම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ගෙන් බදු යෝජනා කැඳවීම ලංසු ඇගයීම කාලය, ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, වයස සහ පිරිවිතර අනුව නිර්දේශයක් සකස් කිරීම.

ප්‍රශ්නය:- ගුවන් යානා බදු ගැනීමට අදහස් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතද?

පිළිතුර:- පූර්ණ විනිවිදභාවය සහ ඕනෑම බදුකරුවකුට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා දීම යහපාලන පිළිවෙතයි. එවැනි විනිවිදභාවයක් පවත්වාගැනීම, ගුවන් සමාගමේ බදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු දියුණුවක් වන අතර එය ඉදිරි සමස්ත පාලන රාමුව තුළ ස්ථාවර භාවිතයක් විය යුතුය.

ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කුමක්ද?

පිළිතුර:- 2022 දක්වා කාලසීමාව තුළ ගුවන් යානා සැපයීමට අදාළ විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනාගැනීමට වත්මන් අදියර (ප්‍රසම්පාදන නිවේදනය) සීමා වී තිබේ. මෙම අදියරේදී මිල පිළිබඳ තොරතුරු කිසිවක් ඉල්ලා නැත. ඊළඟ අදියර වනුයේ සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ට යෝජනා කැඳවන ලේඛනයක් (RFP) නිකුත් කිරීමයි. කෝප් කමිටුවේ යෝජනාව මත මිල ගණන් සලකාබැලීමට අදාළ මීළඟ අදියර, මාස 3 කින් කල් දමා ඇත.

ප්‍රශ්නය:- ගුවන් යානා කුලියට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද සහ කුලියට ලබාගන්නේ නම්, යානා ප්‍රමාණය, මිල සහ ගුවන් යානා වර්ගය යනාදිය.

a. සෑම ගුවන් යානා බදු ගැනීමක් සඳහාම ඇති ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ ඇගයීම (කල් ඉකුත්වන බදු සඳහා ආදේශ කිරීම හෝ නව මාර්ග එකතු කිරීම සඳහා)

b. විවිධ අවස්ථා යටතේ ඒ වන විට පවතින ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය

c. ඒ වන විට පවතින සාර්ව ආර්ථික තත්ත්ව සහ ප්‍රක්ෂේපිත අනාගතය

d. ගුවන් යානා ප්‍රතිස්ථාපනය සහ/හෝ එකතු කිරීම සඳහා වන ව්‍යාපාරික සිද්ධි ඇගයීමේදී, ව්‍යතිරේක තත්ත්වයන් සහ ඒවා අවම කර ගැනීමේ අවදානම බලපානු ඇත.

ප්‍රශ්නය:- ගෝලීය ගුවන් යානා බදු වෙළඳපොළ සමීක්ෂණය කිරීමේ තීරණයට අදාළ වන වෙනත් කරුණු මොනවාද?

පිළිතුර:- දැනට ගෙවනු ලබන බදු ගාස්තුවලට සාපේක්ෂව සියයට 20-40 ක ඉතිරියක් කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් සමඟ ගුවන් යානා බදු වෙළෙඳපොළ දැනට ඉතා වාසිදායක තත්ත්වයක පවතියි. වඩාත් ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට ලාභදායී ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අමතර අවස්ථාවක් උදාවෙයි.

ප්‍රශ්නය:- ප්‍රසම්පාදන නිවේදනයට අනුව 2025 වසර දක්වා බදු ක්‍රමයට ලබාගැනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාව 21 කි. මෙම සංඛ්‍යාව නිර්ණය කළේ කෙසේද?

පිළිතුර:- ඊට ප්‍රතිස්ථාපන කළ යුතු ගුවන් යානා 12 ක් ඇතුළත් වේ. ඉන් ගුවන් යානා නවයක් (09) මෙම වසර ආරම්භයේ සිට 2025 දක්වා ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් ඇත. IATA (ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය) වැනි කීර්තිමත් ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර සංචාරක පුරෝකථන අනුව යමින්, 2025 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා 9 ක් ලබාගැනීමට අදාළ වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණයට ලක් කිරීමට කළමනාකාරීත්වය යෝජනා කර ඇත.

ප්‍රශ්නය:- ඉකුත් අප්‍රේල් 12 වැනි දින සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරන ලදී. මෙය කුමන බලපෑමක් ඇති කරයිද?

පිළිතුර:- ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පෙරනිමි මට්ටම පහත හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස බදු දෙන්නන් වෙළඳපොළේ මිල මට්ටම්වලට අමතරව අවදානම් වාරිකයක් එක් කිරීමට ඉඩ ඇත. එසේ අමතර ගාස්තුවක් එක් වුවද, එම බදු වාරික, ගුවන් සමාගම වර්තමානයේදී ගෙවනු ලබන බදු වාරිකවලට වඩා වාසිදායක වනු ඇත.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය කොතරම් දුරට දැනුවත්ව සිටියාද?

පිළිතුර:- ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණයෙන්ම දැන සිටි අතර, එය එදිනෙදා මෙහෙයුම්වලට බලපා ඇති ආකාරය ද අපගේ අවධානයට යොමුවිය. ගුවන් සමාගමේ මෙහෙයුම් කෙරෙහි අර්බුදය නිසා ඇතිවන බලපෑම අවම කිරීම සඳහා විවිධ උපායමාර්ගික පියවර ගනු ලැබිණි. අයහපත් ආර්ථික තත්ත්ව පැවතිය ද ගුවන් සමාගම විසින් අනුගමනය කරන ලද උපායමාර්ග තුළින් ජනවාරි-මාර්තු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභයක් ළඟාකරගැනීමට හැකිවිය.

ගුවන් යානා බදුවලින් 50% ක් පමණ කල් ඉකුත් වෙමින් පවතින බැවින් ද, සෘජු පිරිවැය ඉතිරිකිරීම් සහ අඛණ්ඩව පවත්වාගෙන යාම ඉලක්ක කරගත් මුල පිරීම් වෙත යොමු වෙමින් පවතින බැවින් ද, ඉහත විස්තර කර ඇති හේතු මත පිහිටා ගුවන් යානා බදුගැනීමේ මිල ගණන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට හේතුවක් නැත. තව ද, විදේශ මුදල් ප්‍රවාහයේ වර්ධනය, සමාගමට සහ කොටස්හිමියාට (ශ්‍රී ලංකා රජයට) ඍජුවම ප්‍රතිලාභ ලබාදෙනු ඇත.

ප්‍රසම්පාදන නිවේදනය අප්‍රේල් 10 වැනිදා නිකුත් කරන ලද අතර කෝප් කමිටුව ඉදිරියේදී ද ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් 12 වැනි දින විදේශ ණය සේවා සිදුකිරීමට අදාළ අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කිරීමේ රජයේ අදහස පිළිබඳව සමාගමට පූර්ව දැනුමක් නොතිබුණි. ඉහත පැහැදිලි කළ පරිදි, මෙය බදු වාරික මිල කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති නමුත් වත්මන් බදු වාරික මිලට වඩා අඩු බදු වාරික මිලක් ගෙවා ප්‍රතිලාභ ලැබීමට ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇත.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය කෙබඳුද?

පිළිතුර:- 2022 ජනවාරි-මාර්තු කාර්තුව සඳහා ගුවන් සමාගම අමෙරිකානු ඩොලර් මගින් සමූහ මෙහෙයුම් ලාභයක් (විගණනය නොකළ) වාර්තා කර ඇත. මෙය වසර 6කට පසු ලැබූ පළමු ලාභදායී කාර්තුව (අමෙරිකානු ඩොලර් මගින් ලද) විය. එය 2006 වසරෙන් පසු 4  වැනි කාර්තුවක් සඳහා මෙහෙයුම් ලාභ (අමෙරිකානු ඩොලර් මගින්) ලද පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ගුවන් සමාගම දිගු කලක් තිස්සේ දරාගත නොහැකි මට්ටමේ ණය ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර දැනට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 878 ක් වේ.

සැලකිය යුතු විශේෂිත කරුණක් වන්නේ, අමෙරිකානු ඩොලර් මගින් මෙහෙයුම් ලාභයක් ලැබුව ද, මෑත කාලීනව රුපියල 50%කට වඩා අවප්‍රමාණය වීම හේතුවෙන් විගණනය කිරීමට පෙර (අමෙරිකානු ඩොලර්වලින් ගත් ණය නැවත තක්සේරු කිරීම හේතුවෙන්) ඉතා සැලකිය යුතු මුදල් නොවන විනිමය අලාභයක් වාර්තා කර ඇත.

මෙම ණයවලින් බහුතරයක් රාජ්‍ය බැංකු සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරනු ලබයි. අනෙකුත් සැලකිය යුතු ණය අතර 2019 දී නැවත නිකුත් කරන ලද රජයේ සහතික කළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ඇතුළත් වේ.
පසුගිය මාසවල, වැඩිදියුණු කළ මෙහෙයුම් ලාභදායිතාවය සහ විදේශ මුදල් ප්‍රවාහ මත පදනම්ව, අනෙකුත් දිගුකාලීන ණය සඳහා නියමිත වේලාවට සේවා සැපයීම සහතික කිරීමටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ණය ගෙවීමත් ආරම්භ කර ඇත.

 ප්‍රශ්නය:- මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු කරගැනීමට බලපෑ ප්‍රධාන සාධක කවරේද?

පිළිතුර:- නව ගුවන් මාර්ග මත පදනම් වූ පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම, අවස්ථානුකූල නව ආදායම් ග්‍රහණය කරගැනීම සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙඅංශයේම ඉල්ලු‍මට අනුවර්තනය වීම යන ද්වීපාර්ශ්වික උපාය මාර්ගයක් හරහා, 2021 දෙසැම්බර් සහ ජනවාරි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභය ලබාගෙන ඇත.

ශ්‍රී ලංකන් හි පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් මත පදනම් වන අතර බදු පිරිවැය වර්තමාන (හිතකර) මිලට නැවත සකස් කිරීම ද ඉදිරි ගමනේ තීරණාත්මක අදියරකි.

ප්‍රශ්නය:- ගෝලීය ගුවන් සේවා කර්මාන්තයට සහ විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසංගතයේ බලපෑම කෙබඳුද?

පිළිතුර:- ගෝලීය වශයෙන්, වසංගතයේ විනාශකාරී බලපෑම හේතුවෙන් ගුවන් සමාගම් 26 ක් ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර, තවත් ගුවන් සේවා 37 ක් වසා දැමුණි. ගෝලීය කර්මාන්තයට සාපේක්ෂව, ලාභදායී මෙහෙයුම් සඳහා පදනමක් සපයන පශ්චාත් වසංගත මෙහෙයුම් ව්‍යුහයක් සමඟින් ශ්‍රී ලංකන් සමාගම යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්විය. ඊට බලපෑ සාධක කිහිපයකි.

ගුවන් සේවයේ සේවකයන් විසින් කරන ලද කැපකිරීම්. ඔවුන්ගෙන් බහුතරයක් දීර්ඝ කාලයක් තිස්සේ විශාල වැටුප් කප්පාදුවක් යටතේ සිය සේවා ඉටුකළහ.  

2020 දී ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 45.7 ක නව කොටස් නිකුත් කිරීම.

සාර්ථක පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම (වසංගතය අතරතුර මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කින් පහත හෙළා ඇත) සහ වෙළඳපොළ අවස්ථා දිනාගැනීම (භාණ්ඩ ප්‍රවාහන සේවා, නැවත ගෙන්වා ගැනීමේ සේවා, නව ඉල්ලු‍ම ග්‍රහණය කර ගැනීම - උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර).

ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සේවය වසා දැමිය යුතු නොවේද? විකිණිය යුතු නොවේද? ඈවර කොට නැවත ආරම්භ කළ යුතු නොවේද?

පිළිතුර:- මේ සියල්ල වැදගත් ප්‍රශ්න ලෙස අපි දකින්නෙමු. එහෙත් මෙම විකල්ප තෝරාගැනීමේ ගැටලු‍වක් තිබේ. එනම්, ශ්‍රී ලංකන් හි බංකොලොත්භාවය මගින් අතීතයේ සිට සමාගමට ණය ලබාදී ඇති රාජ්‍ය බැංකුවලට ඇති කරන විනාශකාරී බලපෑම යි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රාග්ධනීකරණය සහ/හෝ ඈවර කිරීම සහ නැවත ආරම්භ කිරීම (සමහර ගුවන් සමාගම් කර ඇති පරිදි) කොටස් හිමියා (ශ්‍රී ලංකා රජය) විසින් ගත යුතු තීරණ වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂය පථයෙන් ඔබ්බට ගමන් කරයි. කෙසේ වෙතත් අපේක්ෂිත ප්‍රතිවිපාක ද පෙන්වාදෙමින් එවැනි විකල්ප කිහිපයක් කොටස් හිමියා වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකර ඇත.

කොටස්හිමියා වෙතින් එවැනි මඟපෙන්වීමක් නොමැති පසුබිමක, සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය උපරිම කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යුතුකම වේ. ඒ අනුව, ලාභදායී මෙහෙයුම් වර්ධනය කරගැනීමට සහ දිගුකාලීන හිඟ ණය ගෙවීම ආරම්භ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.

ප්‍රශ්නය:- අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද ආකාරය සහ ඔවුන්ට වේතන පිරිනමන ආකාරය කුමක්ද?

පිළිතුර:- ගුවන් සමාගමේ කොටස්හිමියා වන මුදල් අමාත්‍යංශය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කරනු ලැබේ.

වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද්දේ 2020 ජනවාරි මාසයේදී එනම්, ගෝලීය වසංගතය එළඹීමට කෙටි කාලයකට පෙරදී ය.

පත්වීම් අවස්ථාවේදීම, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිදු වේතනයක් හෝ ප්‍රතිලාභයක් නොගැනීමට තීරණය කළහ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය සඳහා සිය කාලය සහ ශ්‍රමය හුදු ගෞරවනීය පදනමක් මත පිරිනමති.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

ශ්‍රී ලංකන් ගුවන් යානා බදු ගන්නේ ඇයි?

Sumith Sunday, 22 May 2022 11:42 PM

ශ්‍රී ලංකන් එයාර් ලයින් 1ට අපේ රටේ නිෂ්පාදිත එයාර් බස් එක්කිරීමට වැඩපිළිවෙළක් නැද්ද? ඒකට ප්ලෑන් 1ක් නැද්ද? ඒක නේද කරන්න ඕනෑ... අපි හදන්න ඕනේ අපේ රටේ ගුවන් යානා...!

:       1       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 80 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 141 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 103 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site