ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ තුර්කි නිල සංචාරය අතරතුර අන්කාරාහිදී තුර්කි ජනරජයේ කම්කරු හා සමාජ ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ලු‍ට්ෆිහාක් අල්ප්කන් මහතා (Dr. Lütfihak Alpkan) හමුවී ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ද්විපාර්ශක සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාවලදී තුර්කියේ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, කුසලතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සදාචාරාත්මක හා විනිවිධභාවයෙන් යුත් බඳවා ගැනීමේ ක්‍රමවේද හඳුන්වාදීම මෙන්ම, ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම, විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ තුර්කියේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු‍ විසඳීම සඳහා දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

උණුසුම් පිළිගැනීම සහ ඵලදායී සාකච්ඡා සඳහා මහාචාර්ය ආචාර්ය ලු‍ට්ෆිහාක් මහතා වෙත සිය ස්තුතිය පළ කළ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා දෙරටටම පොදු උනන්දුවක් ඇති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට තම කැපවීම ද ප්‍රකාශ කළේය.

විදෙස් ශ්‍රමිකයන්ගේ ගෞරවය, අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රමුඛත්වයෙහි තබා ගනිමින් සුරක්ෂිත හා ඵලදායී රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙම හමුවේදී යළිත් අවධාරණය කෙරිණි. තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි නිලූක කදුරුගමුව මහතා සහ අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලධාරිනී නිලූෂා දිල්මිණි මහත්මිය ද මෙම හමුවට සහභාගී වූහ.