ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන හා උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ දරු පරපුරේ පාසල් අධ්‍යාපන ගමන් මග පුරාවට ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධව කැපවී කටයුතු කිරීමට ඉදිරිපත්ව තිබේ. මෙය ලංකාවේ මිලියන 4කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ ජීවිත සුරක්ෂිත කරනු ලබන සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ සැලසුම් වැඩසටහන යටතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබයි.  

ශ්‍රී ලංකා රජය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා, මෙම සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ වැඩසටහන දිවයින පුරා සිටින සියලු‍ම පාසල් දරුවන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනැමීම විශේෂත්වයකි. මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳවSLIC General සතුටට පත්වන අතර හදිසි අනපේක්ෂිත අවස්ථා හේතුවෙන් සිසුන්ට ඇති විය හැකි මූල්‍ය බලපෑම් අවම කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම වැඩසටහන දායකත්වය ලබා දේ.

මෙම රක්ෂණාවරණය සඳහා සුදුසුකම් ලබන සිසුන් අතරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යපනය ලබන 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් මෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත පාසල්වල ඉගෙනුම ලබන වයස අවුරුදු 4ත් 21ත් අතර සිසුන් ද ඇතුළත් වේ. 

මෙම රක්ෂණ සැලසුම් ක්‍රමය යටතේ රෝහල්ගතවීම්, බාහිර ප්‍රතිකාර සහ බරපතළ රෝග සඳහා රක්ෂණ ආවරණය මෙන්ම, ස්ථිර හා තාවකාලික ආබාධිත තත්ව සඳහා පුද්ගලික අනතුරු රක්ෂණ ආවරණයද ලබා දේ. එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා මවුපියකුගේ හදිසි අභාවයකදී ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක්ද පිරිනමනු ලබයි. මෙම රක්ෂණාවරණය පාසල් භූමිය තුළ මෙන්ම ඉන් බැහැරව සිදුවන අනතුරු හා සිදුවීම් සඳහා ද වලංගු වේ. 

දරුවෙකු මුහුණ දෙන රෝගාබාධයක් හෝ හදිසි අනතුරක් තාවකාලික පසුබෑමකට වඩා එහා ගිය බරපතළ තත්වයක් විය හැකිය. එවැනි මොහොතක එම පවුල වෙත දැඩි මූල්‍යමය හා මානසික පීඩනයක් එල්ල විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එය දරුවාගේ පාසල් අධ්‍යාපනය පවා අඩාළ කිරීමට හේතු වේ. ජීවිතයේ මුහුණ දීමට සිදුවන මෙවැනි අවිනිශ්චිතතා හමුවේ වුව ද, දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මානසික සහනයක් සලසා දෙමින්, ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියටම පවත්වාගෙන යාමට ද සහය වෙමින්, සුරක්ෂා රක්ෂණ සැලසුම වඩාත් සුරක්ෂිත පදනමක් ලෙස ක්‍රියා කරයි. SLIC General සතු දිවයින පුරා විහිදුණු ශාඛා සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 200කින් සමන්විත පුළුල් ජාලය හරහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවකාශය සලසා දී තිබේ.

ලෝක ළමා දිනය යනු සෑම දරුවකුටම ඉගෙනීමට, වර්ධනය වීමට සහ යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවිය යුතුය යන බලාපොරොත්තුව සමරන සුවිශේෂී දිනයකි. දරුවන් වෙනුවෙන් සැමරීමක් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීමයි. එය හුදෙක් එක් දිනකට පමණක් සීමා නොවී, ඔවුන් පන්ති කාමරය තුළ ගතකරන සෑම දිනකම වලංගුවන ආරක්ෂාවක් විය යුතුය.