• වෙළෙඳ භාණ්ඩ හිඟය ඩො. බි. 6.5ක් දක්වා ඉහළ ගිහින්
  • පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව වෙළෙඳ හිඟයේ සියයට 69 ක වර්ධනයක්
  • ආනයන වියදම සියයට 25.8කින් වර්ධනය වෙද්දී අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 4.4කින්
  • විදෙස්ගත ලාංකිකයන් එවන මුදල් සියයට 21.4කින් ඉහළ ගිහින්

 විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය වසරේ පළමු මාස හත තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 අතිරික්තයක් වාර්තා කළ මෙරට ජංගම ගිණුම මෙම වසරේ පළමු මාස හතේදී ඩොලර් මිලියන 387 ක හිඟයක් වාර්තා කර ඇති බවත් එය සැලකිය යුතු පහළ යාමක් බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම ආසියානු සංවර්ධන දැක්මේ සඳහන් වේ.

මැදපෙරදිග අර්බුදය සහ මෑත කාලීන ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම් නිසා ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව වෙළෙඳ හිඟයේ සියයට 69 ක වර්ධනයක් බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.

මෙම වසරේ පළමු මාස හතේදී මෙරට ආනයන වියදම සියයට 25.8කින් වර්ධනය වෙද්දී, මෙරට අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 4.4කින් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

භාණ්ඩ හා සේවා අපනයන ආදායම එම කාලයේදී සියයට 2.2කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 12.3ක් වී ඇතත්, ආනයන ඉහළ යාම සහ සේවා අතිරික්තය පහළ යාම හේතුවෙන් එම වර්ධනය ප්‍රමාණවත් වී නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් මෙම වසරේ පළමු මාස හත තුළ සියයට 21.4කින් ඉහළ යාම මෙරට විදේශ ගෙවුම් තත්වයට ප්‍රධාන සහායක් වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල් මත මෙරට යැපෙන බවත් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල්වලින් සියයට 44 ක් පැමිණෙන්නේ මැද පෙරදිග කලාපයේ සිට බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම වසරේ පළමු මාස හතේදී මෙරට සංචාරක සියයට 1.8 කින් පහළ ගොස් ඇති බවත් මෙරටට පැමිණෙන්නන් ශ්‍රී ලංකාවේදී වියදම් කරන ප්‍රමාණය පහළ යාම හේතුවෙන් සංචාරක ආදායම සියයට 11.5 කින් පහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. මෙම වසර අවසාන වනවිට මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ගෙන්වා ගැනීමට ඉලක්කයක් ඇති බවත් පසුගිය අගෝස්තු මස අවසානය වන විට මෙරටට පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ 15ක් බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

මෙම වසරේ මැයි මාසයේදී පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම සියයට 28 කින් වර්ධනය වී ඇති බවත් මෙම වසරේ පළමු මාස හත තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සියයට 40කට වඩා ඉන්දියානු ජාතිකයන් බවත් එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම වසරේ පළමු මාස හතේදී මෙරටට පැමිණි යුරෝපා සංචාරකයන්ගේ දක්නට ලැබෙන්නේ අඩු වීමක් මිස වර්ධනයක් නොවන බවත් එම වාර්තාවේ දැක්වේ.

දේශීයව ශීඝ්‍රයෙන් ඉහළ යන ණය පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද පුහුණු ශ්‍රම බළකා හිඟය නැවත ඉදිකිරීම්වලට බලපෑම් එල්ල කළ හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. එය වියදම් පාලනයේ දුර්වලතාවක් හෝ ආදායම් හිඟයක් ඇතිවීමට හේතුවිය හැකි බවත් ඉන් ලබන වසරේ මූල්‍ය තත්වයට අවදානමක් එල්ල විය හැකි බවත් එහි දැක්වේ.

වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්වය ආසියාවේ මෙන්ම මෙරට ආහාර මිලට පීඩනයක් එල්ල කරනු ඇති බවත් මෙම වසරේදී මෙරට උද්ධමනය සියයට 6 සීමාවේත්, ලබන වසරේදී සියයට 5.2 සිමාවේත් මහ බැංකු ඉලක්කයට ඉහළින් පවතිනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. ආහාර මිල පීඩනය එයට එක් හේතුවක් වනු ඇති බවද එහි දැක්වේ.

පසුගිය ජනවාරි මාසයේදී සියයට 4.3ක් වූ කර්මාන්ත නිෂ්පාදන වර්ධනය මෙම වසරේ ජූනි මාසය වනවිට සියයට 0.8ක් දක්වා පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට දළ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වී තිබෙන බවත් මෙම වසරේ ජූලි මස අවසානයේදී එය ඩොලර් බිලියන 6.6 ක් වී තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පුද්ගලික අංශයට ලබාදී ඇති ණය සැළකිය යුතු අන්දමින් වර්ධනය වී තිබෙන බවත් එය ලබන වසර පුරාවට ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම වාර්තාව පෙන්වා දෙයි. මැද පෙරදිග අර්බුදය දීර්ඝ කාලීනව පැවතුණහොත් එය ඉන්ධන, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු, පොහොර සහ ආහාර මිලට බලපෑම් එල්ල කරනු ඇති බවත් එය මෙරට අපනයන ක්ෂේත්‍රයට, විදේශ ප්‍රේෂණ, සංචාරක සහ සංචිතවලට අවදානමක් එක් කරනු ඇති බවත් ආසියානු සංවර්ධන දැක්ම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1කින් වර්ධනය වී ඇති බවත් මෙම වසරේදී සහ ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4 සීමාවේ පවතිනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි. පළමු කාර්තුවේ ආර්ථික වර්ධනයට කර්මාන්ත අංශය සියයට 7.2කින්, සේවා අංශය සියයට 3.4කින් සහ කෘෂිකර්ම අංශය සියයට 1.1කින් දායක වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම වසරේ පළමු කාර්තුවේදී පෞද්ගලික පරිභෝජනය සියයට 7.1කින්ද, දළ ප්‍රාග්ධන සම්පාදනය සියයට 16.5කින්ද වර්ධනය වී ඇති බව එහි සඳහන්වේ. එසේම ලබන වසරේ ආර්ථික වර්ධනයට කර්මාන්ත අංශය ප්‍රධාන දායකත්වයක් ලබාදෙනු ඇති බවද ආසියානු සංවර්ධන දැක්ම වාර්තාවේ දැක්වේ.