• ඒ සඳහා බාහිර මූල්‍යකරණ  ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 9.25ක්

නිමල කොඩිතුවක්කු 


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක් සහ සේවා ගුණාත්මකභාවය හා පරිශීලක අත්දැකීම් ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ‘ඩිජිටල් සංවේතනය දියුණු කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව සමග කටයුතු කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සංඛ්‍යාත කළමනාකරණ සහ අධීක්ෂණ පද්ධතියක් මෙන්ම සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම්වල ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් අවශ්‍යව පවතී.

ඒ සඳහා බාහිර මූල්‍යකරණ ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 9.25ක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණ සංවර්තන ව්‍යාපෘතිය මගින් ‘සංඛ්‍යාක කළමනාකරණ සහ අධීක්ෂණ පද්ධතිය’ සහ ‘සේවා ගුණාත්මකභාවය භා අත්දැකීම්වල ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතිය’ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.