• වැඩිපුරම ඉල්ලු‍මක් තිබෙන්නේ ආගමික ස්ථානවලින්
  • හොඳ බීජ සොයාගැනීම බරපතළ ගැටලු‍වක්
  • විවිධ උත්සවවලටත් හොඳ ඉල්ලු‍මක් පවතිනවා
  • ඉද්ද, දහස්පෙතියා, රෝස, රාජකපුරු ඇතුළු මල් වර්ග රැසක් ගෘහණියන්ට හොඳ ආදායම් මාර්ගයක්

 

ආණමඩුව - හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම දිස්ත්‍රික්කයේ සුවිශේෂ පරිසර පද්ධතියකින් සමන්විත කල්පිටිය ප්‍රසිද්ධ කරවලවලටය. එහෙත් ඒ බොහෝ කලකට පෙරය. දැන් එය වෙනස්ය. දැන් කල්පිටිය කියූ පමණින් ගිනි ගහන කස වැල්ල සරු කරමින් වගාවෙන එළවළු පලතුරුවලින් පිරුණ අර්ධද්වීපයකි.

ඒ වාගේම සංචාරකයන්ගේ සිත් වශී කළ සුන්දර සංචාරක පාරාදීසයකි. එහෙත් මේ සියල්ලම එලෙසම පවතිද්දී කල්පිටිය දැන් විවිධ අලංකාර මල්වලින් පිරී ගිය අපූරු වගාබිම්වලින් පිරී ගිය බිමක් බවට පත්වෙමින් පවතින අයුරු දැක ගත හැකිය.

මේ වන විට මේ අර්ධද්වීපයම ඉද්ද, දහස්පෙතියා, රාජකපුරු රෝස වගාවලින් පිරී ගිය භූමියක් බවට පරිවර්තනය වෙමින් ඇති අයුරු එහි සංචාරය කළ අපට දැකගත හැකි විය.

ඉද්ද වගාවට කප්ගහපු කල්පිටිය පුරාම ඉද්ධ වගාවලින් පිරී යද්දී තායිලන්ත දහස්පෙතියා වර්ග රැසකින් වාගේම රාජකපුරු, රෝස ඇතුළු තවත් මල් වර්ග රැසක් වගා කරමින් රටපුරා ඉල්ලු‍ම අනුව ලබාදීමට කටයුතු කරමින් ඇත්තේ කල්පිටියට කරන්න බැරි දෙයක් නොමැති බවට අභියෝග කරමිනි.

කල්පිටියට ඉද්ද වගාව හඳුන්වා දුන් දළුවේ මල් රාණි නමින් ප්‍රසිද්ධ ඒ.එම්.ඒ. කරුණාවති මහත්මිය රට පුරාම ඉද්ද වගාකරුවන් අතර ජනප්‍රිය මල් වගාවෙන් ජීවිතය ගොඩනගා ගත් ධෛර්ය සම්පන්න කාන්තාවකි.

ඇය තම හඬ මෙලෙස අවදි කළාය. 

“කල්පිටිය කියපුවාම ඉස්සර පිට පළාත්වල අයගේ හිතේ මැවිලා තිබුණේ කරවල වාඩිවලින් පිරී ගිය ගිනි ගහන අව්ව තිබුණ කලාපයක් විදිහටයි.

එහෙත් ක්‍රමයෙන් මේ සියල්ල වෙනස් වෙමින් එද්දී මම සොයාගත් කල්පිටිය ජම්බෝ කියන ඉද්ද මුළු කල්පිටිය පුරාම ව්‍යාප්ත කළා. ඉද්ද පොහොට්ටුවල ඉල්ලු‍ම කෝවිල්වලට මුලින්ම තිබුණත් පස්සේ ලංකාව පුරාම ප්‍රධාන සිද්ධස්ථානවලින් ඉල්ලු‍ම් ලැබෙන්න පටන් ගත්තා. අද වන විට ඉද්ද පොහොට්ටුවලට හොඳ ඉල්ලු‍මක් පවතිනවා. මෙය මේ වන විට කල්පිටිය අර්ධද්වීපය පුරාම ජනප්‍රිය ගෙවතු වගාවක් බවට පත්වෙලා. මට සතුටු මම ආරම්භ කරපු ඉද්ද වගාව අද වන විට බොහෝ පිරිසක් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන එක ගැන. ඒ වාගේම මේ ඉද්ද දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් වගා කරලා පොහොට්ටු අලෙවි වීම සිදු වෙනවා.” 

එළවළු හා පලතුරු වගාකරුවකු වන දළුව මෙරිල් ලසන්ත මහතා මේ වන විට දහස්පෙතියා හා රෝස වාණිජ වගාවක් ලෙස සාර්ථකව පවත්වාගෙන යමින් සිටී. මේ ඔහුගේ හඬයි.

“මම වෘත්තියෙන් එළවළු වගාකරුවෙක්. ඒ වාගේම විවිධ වගා ආරම්භ කරලා තියෙනවා. ඒ අතර දහස්පෙතියා වාගේ රෝස වගාවත් ආරම්භ කරලා තියෙනවා. එයින් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. ඒ වාගේමයි මේ වගාවෙන් වැඩිපුරම මල් දෙන්නේ ආගමික කටයුතු සඳහා යොදා ගන්න. වැඩිපුරම මේ මල් විහාරස්ථාන, දේවස්ථාන හා කෝවිල්වලට ඉල්ලන්නේ. ඒ අතර විවිධ උත්සවවලටත් හොඳ ඉල්ලු‍මක් පවතිනවා. එහෙත් තිබෙන ගැටලු‍ව තමා හොඳ බීජ සොයාගන්න එක. එය හරිම අමාරු කටයුත්තක්.” 

දහස්පෙතියා මල් වගාවක නිරත වන දළුව නිලංකා සඳමාලි මහත්මිය තවත් දක්ෂ ව්‍යවසායිකාවක් වෙයි. මේ ඇගේ හඬයි.

“අපි ගොවිතැන් කටයුතුවල නිරතවෙන එකට අමතරව තමා මල් වගාව පටන් ගත්තේ. හොඳ ආදායමක් ගන්න පුළුවන් වුණාට තියෙන එකම ගැටලුව හොඳ බීජ සොයා ගැනීම. මොකද අපි බීජවලට කරන වියදම බරපතළයි.”