වෘත්තිය පුහුණු අධිකාරියට සම්බන්ධ වී වෘත්තිය පුහුණුව ලබලා
මුලින්ම ව්‍යාපාරය පටන් ගත්තේ රුපියල් දාහක කුලියකට පොඩි කඩ කාමරයක
ව්‍යාපාරය පටන් ගත්තේ ගෙදර තිබුණ අල්මාරියයි, ඇඳයි කඩේට ගෙනත්
සේවකයන් කිහිප දෙනකුටත් රැකියා ලබාදීලා
බුල්නෑව - ප්‍රදීප් රණතුංග
වඩු කර්මාන්තය මනා සේ හදාරා ඒ මගින් කුඩා ව්‍යාපාරයක් අරඹා එමගින් සාර්ථකත්වයට පත්වූ සොඳුරු ළියක් පිළිබඳ තොරතුරු කැකිරාව, ගල්කිරියාගම, රනව ගම්මානයෙන් අසන්නට ලැබේ. ඇය නමින් සුනේත්‍රා දිල්රුක්ෂි නම් වේ. ලෝක උරුම ජාතික නාමල් උයන ආසන්නයේ දිවි ගෙවන ඈ සිය සැමියා හා එක්ව ඔවුන් විසින්ම නිර්මාණය කළ විචිත්‍රවත් කැටයම් යෙදූ ලී බඩු වෙළෙඳසලක් ආරම්භ කර තිබේ. කහටගස්දිගිලිය, කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට තිබේ.
ඉනික්බිතිව වෘත්තිය පුහුණු අධිකාරියට සම්බන්ධ වී වෘත්තිය පුහුණුව ලැබීමට ඇය යොමුව ඇත. සුනේත්‍රාගේ විවාහයත් සමග දක්ෂ වඩු කාර්මිකයකු වූ සිය සැමියා සහ ඔහුගේ පියාගේ ඇසුරෙහි වඩු කර්මාන්තය තවදුරටත් හැදෑරීමේ වාසනාව ඇයට පෑදී ඇත. එහිදී වඩු කර්මාන්තය හා සම්බන්ධ කැටයම් කැපීම, බීරලු නිර්මාණය කිරීම ආදිය පිළිබඳව තවදුරටත් හදාරා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ දුෂ්කරතා මැද කැකිරාව, පුබ්බෝගම නගරයේ ආරම්භ කර ඇති ලී බඩු ව්‍යාපාරය වර්තමානයේ සේවකයන් කිහිප දෙනකුට රැකියාව ලබාදීම දක්වා වැඩිදියුණු කිරීමට ඇය සමත්ව තිබේ. හතළිස් එක් හැවිරිදි දෙදරු මවක වන ඇය කුඩා ව්‍යවසායිකාවක ලෙස ඈ ආ ගමන් මග පිළිබඳව මෙසේ කරුණු කීවාය.
“මුලින්ම රුපියල් දාහක කුලියකට පොඩි කඩ කාමරයක් අරගෙන තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. කඩේට දාන්න තරම් බඩු අපි ළඟ තිබුණෙත් නෑ ඒ වෙනකොට. ගෙදර තිබුණ අල්මාරියයි, ඇඳයි කඩේට ගෙනත් දාලා තමයි පටන් ගත්තේ. සල්ලි තිබුණේ නැති නිසා කරේ තිබුණ මාලේ පවා උකස් කරන්න සිද්ධ වුණා. විවාහ වුණාට පස්සේ අද ඉන්න මේ රනවා ගම්මානෙට ආවේ. ඇත්තටම මුලින් මේ ව්‍යාපාරේ කරගෙන යනකොට සෑහෙන කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා අපිට. ඒත් අද වෙනකොට කිහිප දෙනකුට රස්සාව දෙන්න පුළුවන් විදිහට අපි මේක දියුණු කරලා තියෙනවා. ඉස්සර අපිට බැනපු අයත් අද අපේ පාරිභෝගිකයෝ වෙලා ඉන්නවා. එකම දේ මං මේ කර්මාන්තේ ඉගෙනගෙන ව්‍යාපාරේ පටන් ගත්ත නිසා මේක දියුණු කරන්න පුළුවන් වුණා. ඒ හැම තැනකදීම මගේ මහත්තයා මට ලොකු හයියක් වුණා. මං අදටත් ව්‍යාපාර ගැන ඉගෙන ගන්නවා. අලුත් තාක්ෂණය මේ ව්‍යාපාරෙට එකතු කරන්නේ කොහොමද කියලා හොයලා බලනවා. අනිත් එක කරන වැඩේට අවංක වුණහම දියුණුව අපි හොයාගෙන එනවා.”
ප්‍රියංකර වික්‍රමආරච්චි ඇගේ ආදරණීය සැමියාය. අදත් කොතෙක් සේවකයන් සිටියද සුනේත්‍රා කර්මාන්තයේ කටයුතු සඳහා හැකි සෑමවිටම එක්වන්නීය. ලැබෙන අවසරයේ දී විවිධ සමාජ සේවා කටයුතු සඳහා ද යොමුවන ඈ කවි, කෙටිකතා ආදිය ලියමින් සාහිත්‍යකරණයේ නියැළෙන්නීය. ඒ හැම අතරේ බිරිඳක, මවක, සහෝදරියක, දියණියක, යෙහෙළියක ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටු කිරීමට ඈ නොපිරිහෙළා දායක වන්නීය. රළු ලී දඬු සුමට කරමින් දිරියෙන් දිවි දිනන සොඳුරු ළියක වන සුනේත්‍රා දිල්රුක්ෂිට සුබ පතා අපි නික්ම ආයෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd