• එක් අයකු සේවයට අරන් ආරම්භ කරපු මේ ව්‍යාපාරයේ අද වන විට 100 කට ආසන්න පිරිසක්
  • මුලින්ම අලෙවි කරන්න පටන් ගත්තේ කිලෝ 50 මිටිවලින්
  • මේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න සිදුවුණේ විවිධ බාධක මැද
  • මේ වන විට ලු‍ණු සැකසිමේ කටයුතු කරන්නේ අක්කර 30 කට ආසන්න භුමියක
  • මාලදිවයින ඇතුළු  විදෙස් රටවල් රැසකට වැලි ඉවත් කළ ලු‍ණු සැපයිමට ඉහළ අවස්ථාව තිබුණද ප්‍රමාණවත් ලු‍ණු සපයා ගැනීමට නොහැකිවිම ප්‍රධාන බාධාවක්
  • ලු‍ණු  නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් නොමැති වීමත් ප්‍රශ්නයක්

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ 


නිලු‍ක් දිල්හාන්

ලු‍ණුවලට නම් පුත්තලමය. පුත්තලමේ ලු‍ණුවලින් නමක් හැදු ඔහු තම ව්‍යාපාරය මහත් කැපවිම් කරමින් ඉහළට රැගෙන විත් ඇත්තේ තවත් සියයකට වැඩි පිරිසකට රැකියා ලබා දෙමිනි.

ව්‍යාපාරයක් තමන් අදිටන් කළ අයුරින් ඉහළට නංවා ගැනිමට හැකි නම් ඒ ඔහු කළ කැපවිමේ ප්‍රතිඵලය බව අමුතුවෙන් කිවයුතු නැත.

පුත්තලමේ ලු‍ණුවලින් තම ව්‍යාපාරය ඉහළ නංවා ගත් නිලු‍ක් දිල්හාන් මහතා දශක තුනකට ආසන්න කාලයක් මහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අයුරු මෙලෙස සඳහන් කළේය.

මම පුත්තලමේ පාලවියේ පදිංචිකරුවෙක්. මගේ පියා හා මව රැකියාව කළේ පාලවිය ලු‍ණු සංස්ථාවේ. ඒ නිසාම මමත් ලු‍ණු සමග එකතු වුණා. මට ලු‍ණුවල ගුණ අගුණ හා අත්දැකිම් අඩුවක් නොමැතිව ලැබුණා.

ඒ නිසාම තමා මම මුලින්ම පාලවිය නිවස ඉදිරිපිට තිබුණ අපේ පරණ මඩුවක ලු‍ණු ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ කාලේ අද වාගේ ලොකු තරගයක් තිබුණේ නැහැ.

ඒ වාගේම අද වාගේ තරග කරන්න ව්‍යාපාරිකයෝ හිටියෙත් නැහැ. මුලින්ම මම අලෙවි කරන්න පටන් ගත්තේ කිලෝ 50 මිටිවලින්. මොකද අයිඩින් එක් කරන කටයුත්ත ඒ කාලේ තිබුණේ නැහැ.

කොහොමත් පුත්තලමේ ලු‍ණුවලට තිබෙන ඉහළ තැන නිසාම මගේ ව්‍යාපාරය දවසින් දවස ඉහළ නංවා ගන්නට මට හැකිවුණා.

එක් අයකු සේවයට අරන් මම ආරම්භ කරපු මේ ව්‍යාපාරයේ අද වන විට 100 කට ආසන්න පිරිසක් තම දරුපවුල් රකිමින් හොඳ වැටුපක් ගන්න රැකියාවක් බවට පත් කළේ දශක දෙකකට වැඩි කාලයක් මම කරපු අසීමිත කැපකිරීම් නිසා.

අද මගේ නිෂ්පාදන හිරු නමින් රටපුරාම යන හොඳ වෙළෙඳ සන්නාමයක් බවට පත් කරන්න හැකිවීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.

මොකද මේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න සිදුවුණේ විවිධ බාධක මැද. අද වන විට ජනතාවට විශ්වාසයෙන් ඉහළ ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් අයඩින් මිශ්‍ර හොඳ නිෂ්පාදනයක් ලබා දෙන්න හැකිවී තිබෙනවා. නවින යන්ත්‍ර සුත්‍ර භාවිත කරමින් ලොකු ගමනක් පැමිණීම මට ආඩම්බරයක්. 

ඒ වාගේම මෙම ව්‍යාපාරය අද වන විට තිබෙන තැනට ගෙන එන්නට මගේ බිරිඳ ලබා දෙන සහයෝගය ලොකු අත්වැලක්. 

විලේගොඩ ගමගේ නිලූක් දිල්හාන් 1981 දී  තම ලු‍ණු ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරන්නේ ලු‍ණුවලට නම ගිය පුත්තලම කේන්ද්‍ර කරගනිමිනි.

නවීන යන්ත්‍ර සූත්‍රවලින් සන්නද්ධ හිරු සෝල්ට් නම නිර්මාණය වන්නේද නිලූක් දිල්හාන් මහතාගේ දියණියන් දෙදෙනාගේ නම්වල මුල් අකුරු යොදා ගනිමින් වීමද සුවිශේෂ කරුණකී.

එලෙස හිරු ලෙසින් නිර්මාණය වු නමින් ඉදිකළ ප්‍රධාන කර්මාන්ත ශාලාව පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය නගරයට ආසන්නයේ පිහිටි කරිකට්ටිය ප්‍රාදේශයේ පිහිටා ඇත. අනෙක් කර්මාන්ත ශාලාව පාලවිය කල්පිටිය මාර්ගයේ කරඹ ප්‍රදේශයේ පිහිටා තිබේ.

ඒ සමගම හිරු නිෂ්පාදන සඳහා ලු‍ණු සපයා ගැනීමට මේ වන විට අක්කර 30 කට ආසන්න භුමි සීමාවක ලු‍ණු සැකසිමේ කටයුතු ද සිදුවන්නේ නිෂ්පාදන ජාලයට පුළුල් දායකත්වයක් ලබා දෙමිනි.

හිරු නිෂ්පාදනවලට අයත් අයිඩින් මිශ්‍ර කැට ලු‍ණු හා මේස ලු‍ණු ලෙස වර්ග කීපයකින් තම ව්‍යාපාර ජාලයේ පාරිභෝගිකයා රඳවා ගැනිමට කටයුතු කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.

එහෙත් නිලූක් දිල්හාන් තම කැපවිම මැනවින් පෙනුන්ම් කරමින් ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන්නේ තම කාර්ය මණ්ඩලය සමග දැනුම තාක්ෂණය හා සහයෝගය එක්කරමිනි.

රට තුළ පමණක් නොව මාලදිවයින ඇතුළු විදෙස් රටවල් රැසකට වැලි ඉවත් කළ ලු‍ණු සැපයීමට ඉහළ අවස්ථාව තිබුණද ඒ සඳහා තමන්ට ප්‍රමාණවත් ලු‍ණු සපයා ගැනිමට නොහැකිවීම ප්‍රධාන බාධාවක් බව නිලු‍ක් දිල්හාන් මහතා පවසයි.

වාර්ෂිකව තමන්ට වුවමනා ලු‍ණු තොග සපයා ගැනීමට හැකියාව ඇති නම් විදෙස් වෙළෙඳපොළට තමන්ට ලු‍ණු සැපයීමට කිසිදු බාධාවක් නොමැති බවද ඔහු පවසයි.

එලෙස විදෙස් වෙළෙඳපොළට ලු‍ණු සැපයීමෙන් රටට ඩොලර් ලබා දිමේ හැකියාව ඉහළ බවද නිලු‍ක් දිල්හාන් මහතා පවසයි.

එසේම තම නිෂ්පාදන පුළුල් කිරීමට තවත් එක් බාධාවක් වන්නේ ලු‍ණු  නිෂ්පාදන සඳහා අවශ්‍ය ඉඩම් නොමැති වීම බවද ඔහු පවසයි.

රජය මැදිහත් වි ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේ නම් ලු‍ණු නිෂ්පාදනය ඉහළ දැමීමට හැකි බව ඔහු පවසයි.