කාර්මික ප්‍රතිපත්තිය තවදුරටත් ප්‍රධාන ධාරාවේ ආර්ථික ප්‍රතිපත්ති විවාදවල තහනම් කාරණයක් නොවන්නේය. “නම් නොකළ යුතු ප්‍රතිපත්තිය”‍ යනුවෙන් 2019 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තර කළ කාරණය දැන් නිතරම පාහේ මගහැරිය නොහැකි අයුරින් ආර්ථික ප්‍රතිපත්තිවල සහ විද්වත් කවයන් හි නම් කෙරේ. අද ප්‍රශ්නය වන්නේ කාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුද යන්න නොව, පවතින සම්පත් ප්‍රමාණය හා සීමා යටතේ එය ඵලදායී අයුරින් කෙසේ ක්‍රියාත්මක කරන්නේද යන්නයි.
2026 ජූලි 13 වැනිදා Centre for a Smart Future SOAS Centre for Sustainable Finance යන ආයතන “කාර්මික ප්‍රතිපත්තිය වෙත නැවත එළඹීම: වෙළෙඳාම, තරගකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ හරිත වර්ධනය උදෙසා”‍ යන මැයෙන් පැවැත්වූ සාකච්ඡාවක සත්කාරක භාවය ඉසිලීය. මෙම සාකච්ඡාවේ සාරාංශයක් CSF වෙබ් අඩවියේ පළකර, කාර්මික ප්‍රතිපත්තියක නැවත අලු‍ත් කළ නීත්‍යානුකූලභාවයක් පැවතියද, පැරණි විවාද තවමත් සමථ වී නොමැත යන්න හෙළිදරව් කරනු ලැබීය.
ඇත්ත වශයෙන්ම “කාර්මික ප්‍රතිපත්තිය වෙත නැවත එළැඹීම”‍ යන්නෙන් සංවාද කවුළුව, “රජය කිසිවක් කළ යුතු නැත”‍ යන වෙළෙඳපොළ මූලධර්මවාදීන්ගේ ස්ථාවරයෙන් ඉවත් වී, “රජය යමක් කළ යුතුය”‍ යන මධ්‍යස්ථ ස්ථාවරයට පැමිණීම යන්න පමණක් අදහස් වේ. කාර්මික ප්‍රතිපත්ති සාහිත්‍යයේ සැබෑ පුනරුදයක් පැවතියද “කුමක්, කෙසේ කළ යුත්තේ ද” යන සම්මුතිය සම්බන්ධයෙන් අපි බොහෝ ඈත සිටින්නෙමු.
Centre for for a smart Future වාර්තාවේ සාකච්ඡාවෙන් ගත යුතු ප්‍රධාන කාරණා 10 ක් විස්තර වන අතර මෙම ලිපියෙන් එයින් දෙකක් වෙත අවධානය යොමු කෙරේ.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය වැදගත්කම තුන් වැනි වැදගත් කාරණාව වන්නේ “මෑත දශකවලදී කාර්මික සංවර්ධනයට එරෙහි ප්‍රතිපත්තිවලට පක්ෂපාති වීම සමග ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශය නොසලකා හැර තිබීමයි. අලු‍ත් කාර්මික ප්‍රතිපත්ති ප්‍රවේශ කාර්මික ශක්‍යතා වර්ධනය කිරීම අත්‍යවශ්‍ය ලෙස ප්‍රමුඛතාවට ගනිමින් ගෝලීය වශයෙන්, අපනයන තරගකාරීත්වය, පර්යේෂණ සංවර්ධන සහ තාක්ෂණය අනුගමනය කිරීමටත්, සැපයුම් දාම ශක්තිමත් කිරීමටත් ගෝලීය වශයෙන් ප්‍රායෝගිකව ඉවහල් කරගෙන තිබේ.”‍
හඳුනා ගැනීම වඩාත් හොඳින් පිළිගැනීමට ලක්වන අතර එය පළමු සහ වඩාත් වැදගත් ගත යුතු කාරණය වේ. 1978 පශ්චාත් ලිබරල්කරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ තවමත් කොටස් වශයෙන් බහුලව පවතින (සෙලියුලර්) කර්මාන්තය අංශය කෙරේ විනාශකාරී බලපෑමක් ඇති කළේය. ලිබරල්කරණයට පෙරාතුව ආනයන ආදේශන කර්මාන්ත ජාත්‍යන්තර වශයෙන් තරගකාරී නොවූවා විය හැකි මුත්, වානේ නිෂ්පාදනයේ මූලික හැකියාව, රසායනික කර්මාන්ත සහ ඇඟලු‍ම් කර්මාන්ත හැඩගැසීම ආරම්භ වී තිබිණි. පෞද්ගලිකකරණයට සහ මෙම උන්නතිය පරිණත වීමට පෙරාතුව ජාත්‍යන්තර තරගයට නිරාවරණය වීම නිසා කාර්මික ව්‍යුහය වඩාත් ශ්‍රම සූක්ෂම සුසමාදර්ශයකට මාරු වූයේය.
1980 ගණන්වල පසු භාගයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ කාර්මික ව්‍යුහය පදනම් වී තිබුණේ මූලික වශයෙන්, සීමිත අගය එකතු කිරීමකින් යුතු ශ්‍රම සූක්ෂම නිෂ්පාදන කර්මාන්ත මතයි. 2000 ගණන්වල මැද භාගයේදී මෙම සුසමාදර්ශය, වෙහෙසට පත්වීම සහ අගයදාමය දිගේ ඉහළ නැගීමට අසමත් වූ විට ඊනියා මැද ආදායම් උගුල ක්‍රියාත්මක වූයේය. ශ්‍රී ලාංකීය කර්මාන්ත අංශය වැඩිදියුණු කිරීමේදී නිශ්චිතව බැර කර්මාන්ත පදනමක් සහ ප්‍රාග්ධන සූක්ෂම ක්‍රියාකාරකම් අවශ්‍ය වූයේය. ඒ සියල්ල ලිබරල්කරණයේ මුල් කාල පරිච්ඡේදයේදී ඉවත ගලා ගියේය.
ශ්‍රී ලංකාවේ කාර්මීකරණය “නොමේරූ අවධියේම කාර්මික හරණය වීම”‍ යනුවෙන් හඳුන්වන, යන එන මං නැති තත්වයකට පත් වූයේ ශ්‍රම සූක්ෂම නිෂ්පාදන වැසී ගොස් නැවත ස්ථානගතවීමත් සමගයි. මෙම තත්වය නිසා නිෂ්පාදනය පහත වැටීමටත් විරැකියාව ඇතිවීමටත් මඟ පෑදුණේය. නිෂ්පාදන කර්මාන්ත අංශය, පර්යේෂණ හා සංවර්ධන වියදම්වල ප්‍රධාන වාහකය වූ බැවින් නොමේරූ අවධියේම කාර්මික හරණය වීමෙන් සාපේක්ෂව තාක්ෂණික වශයෙන් පහළ ශ්‍රේණියකට වැටෙන්නට තුඩු දෙන මාරාන්තික සර්පිලාකාර චලනයකට ලක්ව, ශ්‍රී ලංකාව හා කාර්මීකරණය වූ රටවල් අතර පරතරය පුළුල් වී ගොස් මැදි ආදායම් උගුල වඩාත් නරක තත්වයට පත් වූයේය.
මෙම ගතිකයන්ට ආර්ථික චින්තනයේ වෙනස්වීමක් අවශ්‍ය වේ. ආර්ථිකයේ බොහෝ අංශ අතරින් එකක් ලෙස දැකීමට වඩා නිෂ්පාදන කර්මාන්තය සමස්ත ජාතික ආර්ථිකයේ මූලික හරය ලෙස සහ වර්ධනය උත්පාදනය කරන යාන්ත්‍රණය ලෙසත් සෙසු ආර්ථිකය පුරා පිටාර ගලන නවීකරණය ලෙසත් නැවත අවධාරණයෙන් දැකීමටත් පාත්‍ර විය යුතු වේ.


 සිරස් කාර්මික ප්‍රතිපත්තියට  එරෙහි තිරස් කාර්මික ප්‍රතිපත්තිය 
ගත යුතු හතරවැනි වැදගත් කාරණය නම්, “රජය ඇතැම් උපාය මාර්ගික අංශවලට සහයෝගය දිය යුතුද නැතහොත් ඒ වෙනුවට වඩාත් තිරස් සහයෝගය දිය යුතුද යන ශක්තිමත් තරගකාරී මත පැවතිණි. වඩාත් පුළුල් සම්මුතිය ලෙස පෙනී ගියේ ඵලදායි ලෙස එක් එක් අංශ ඉලක්ක කර ගැනීමට රජයට ඇති හැකියාව අඩු බැවින් ව්‍යුහාත්මක ආර්ථිකමය බාධක ජයගැනීම වඩාත් හිතකර විය හැකිය යන්නයි. එසේ වුවද වර්තමානයේ රජයේ විවිධ අංශ, මෙම ප්‍රවේශ දෙකම එකවර අනුගමනය කරන බව පැහැදිලි වූයේය.
කාර්මික ප්‍රතිපත්තියට අදාළ ලේඛනවලින් සිරස් කාර්මික ප්‍රතිපත්තියක් (උදා:- විශේෂිත අංශ සහ ක්‍රියාකාරකම් ඉලක්ක කරගත් තෝරාගන්නා ලද ප්‍රතිපත්ති) සහ තිරස් (උදා:- නිපුණතා සහ යටිතල පහසුකම් වැනි තත්ව වර්ධනය කරන ප්‍රතිපත්ති) කාර්මික ප්‍රතිපත්තියක් අතර එකිනෙකින් වෙන් කරන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
තිරස් කාර්මික ප්‍රතිපත්තිය නමැති සංකල්පය වඩාත් ලිබරල් ආර්ථිකයන් පවා නියැලී ඉන්නා වර්ගයේ සමාජ හා ප්‍රාග්ධන ආයෝජනවලින් එකින් එක වෙන්කළ නොහැකි බවට මම තර්ක කිරීමට කැමැත්තෙමි. කාර්මික ප්‍රතිපත්ති ස්වභාවයෙන්ම, දීර්ඝකාලීන ඵලදායිතා ප්‍රතිලාභ සහ සම්බන්ධතාවලට වඩාත් සන්නයනය වන්නා වූ එක් එක් අංශ තෝරාගන්නා සුළුය. මෙසේ කිරීමේ චේතනාව වන්නේ ඇතැම් නැඹුරුතා වෙත වැටී ඇති මං බිඳලීම හෝ ක්‍රියාකාරී ලෙස රටක සාපේක්ෂ වාසි වෙනස් කිරීමයි. ආර්ථිකයේ බාධාකාරී පුළුල් සීමා ජය ගැනීමෙන් ආර්ථිකයේ ව්‍යුහාත්මක සම්මිශ්‍රණය වෙනස් වන්නේ නැත. එක් අංශයකට සීමා පනවන අතර තවත් අංශයකට පහසුකම් සැලසීම පවා හිතකර විය හැකිය.
කාර්මීකරණ ප්‍රතිපත්තිය සඳහා තිරස් ප්‍රවේශයකට පක්ෂව හේතු දෙකක් නිසා මම තර්ක කිරීමට කැමැත්තෙමි.
පළමුවැන්න, ආර්ථිකයේ පුළුල් බාධාකාරී සීමා දේශපාලන හා ආර්ථික තත්වයන්ගේ ඓතිහාසික ප්‍රතිඵලයක් වීමයි. වෙනත් වචනවලින් කිවහොත් එය සමාජ ගිවිසුමකි. එම සමථ වීම් වෙනස් කිරීමට දරන කුමන හෝ තනි උත්සාහයකින් දේශපාලන විරෝධය උත්පාදනය වන්නේය නැතහොත් කලින් දැකිය හැකි නොවන සමාජ ප්‍රතිඵල එයින් ජනනය වන්නේය. චීනයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයෙන් ලැබෙන මූලික පාඩමක් වන්නේ යම් ආර්ථික අංශවල හෝ, භූගෝලීය අවකාශ තුළ වැලිපිල්ලේ (Sandbox) ප්‍රතිසංස්කරණයේ ඵලදායිතාව ඇගයුම් කිරීම සහ පසුව ආර්ථිකය පුරා අනුකරණය දිරිමත් කිරීමයි.
දෙවැන්න ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුව සිදුකළ යටිතල පහසුකම් වැඩපිළිවෙළ, වඩාත් හොඳ භෞතික යටිතල පහසුකම් හරහා ගනුදෙනු පිරිවැය පහසු කිරීම ඉලක්ක කරගත් තිරස් ප්‍රවේශයකට පාඩමකි. එයින් තවමත් නැඹුරුවීමේ මග ක්‍රියාත්මක කරන අතරතුර ව්‍යුහමය පරිවර්තනය ඉදිරියට ගෙන යාමට එය තවමත් අසමත්ය.
බස්නාහිරින් හා දකුණු පළාත අතර මාර්ග සම්බන්ධතාව සහ මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම සහ සම්බන්තොට වරාය ඉදිකිරීම, අභ්‍යන්තර කෘෂි ඉඩම්වලට සහ ශ්‍රම අතිරික්තයකට සමීපතාව, අපනයන මූලික කෘෂි හා කාර්මික පොකුරේ හදිසි අවශ්‍යතාවට පහසුකම් සලසන්නක් විය යුතු වූයේය.
කෙසේ වුවද හම්බන්තොටෙහි අසාර්ථකත්වය වූයේ නිශ්චිතව, තිරස් ප්‍රවේශයෙන් උරුම වූ, “එය ඉදිකරනු, එවිට ඔවුන් එනු ඇත”‍ යන මානසිකත්වයයි. අපනයනය මූලික කරගත් නිෂ්පාදන කර්මාන්තවලට, අඩු පිරිවැයෙන්, දීර්ඝ කාලීන ප්‍රාග්ධනයෙන්, තාක්ෂණික පුහුණුවට, කාර්යක්ෂම බලශක්තිය අඩු මිලට බහුලව පැවතීමට තෝරගත් ආයතනික සහයෝගය ප්‍රමාණවත්ව නොතිබිණි. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ හම්බන්තොට වරාය ලෝකය වෙත එක පෙළට තල්ලු‍ කර හරින වැඩබිමක් වීමට වඩා නැව් බඩු නැවත නැව්ගත කරන සහ අපනයනය කරන මංසලක් බවට පත්වීමයි.
සමස්ත පශ්චාත් යුද යටිතල පහසුකම් ඉදිකිරීම් රාශිය, තිරස් කාර්මික ප්‍රතිපත්තිය, සිරස් කාර්මික ප්‍රතිපත්තියට වඩා අවදානම් සහගත භාවයෙන් අඩු නොවන බවට කරන අනතුරු ඇඟවීමේ කතාවක් විය යුතුය. කාර්මික ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ ආර්ථිකයේ ව්‍යුහය වෙනස් කිරීම මිස පවතින ව්‍යුහයේ ගනුදෙනු පිරිවැය අඩුකිරීම නොවිය යුතුය.


පවතින ප්‍රතිපත්ති රාමු
ජාතික අපනයන සංවර්ධන සැලසුමෙන් මූලිකව නිශ්චය කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මූල්‍ය සීමාකරණ යටතේ මෙහෙයුම් වන තෝරාගත් ස්ථරයකින් හලා වෙන්කළ අපනයන තරගකාරීත්වය හා වෙළෙඳාම පහසු කරන න්‍යාය පත්‍රයකි. විශේෂිත බොහෝ ප්‍රතිපත්තිමය උපාංග ගනුදෙනු පිරිවැය අඩු කිරීමට සම්බන්ධ ඒවාය. ජාතික තනි කවුළුවක්, රේගුව ඩිජිටල්කරණය, ජාතික තීරු බදු ප්‍රතිපත්තියක්, සම්පාදන/ වරාය ධාරිතාව, ගුණාත්මක යටිතල පහසුකම් සහ පැවරීම, බුද්ධිමය දේපළ පාලනය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ව්‍යාප්තකරණය ආදිය සමග ඒවා සම්බන්ධ වේ.
ඊටත් වඩා දැනට පවතින රාජ්‍ය ආයෝජන වැඩසටහන් පැහැදිලිව පෙනී යන්නේ, රජය මූලික ආයෝජකයා නොවන අතර රාජ්‍ය ආයෝජනවලදී කර්මික අංශය ප්‍රමුඛ වූවක්ද නොවන බවයි. රාජ්‍ය ආයෝජන වැඩසටහනෙන් පෙනී යන්නේ 2026 සහ 2030 අතර ආයෝජනවලින් රජයේ දායක වන්නේ සියයට දහතුනකට (13%) පමණක් බවය. එයින් අදහස් කෙරෙන්නේ ආයෝජනවලින් සියයට අසූ හතක් (87%)ම තීරණය කෙරෙන්නේ පෞද්ගලික අංශයෙන් බවයි. රාජ්‍ය ආයෝජන තුළ රාජ්‍ය ආයෝජන වැඩසටහනෙන් සියයට3.1 ක් ප්‍රතිපාදන වෙන් කර තිබෙන්නේ, කර්මාන්ත වෙළෙඳාම සහ සංචාරක කර්මාන්ත උදෙසාය. මාර්ග සඳහා වෙන් කර ඇති සියයට 26.3 වෙන් කර ඇති ප්‍රතිශතය සමග මෙය සසඳා බලනු වටී. (1 වගුව): එම නිසා ආයෝජන උපාය මාර්ගය පුළුල් ලෙස තිරස්ව පවතින්නකි.
මෙම රටාවෙන් ණයගැති වී ණය සඳහා පොලී ගෙවීම් උදෙසා පමණක් රාජ්‍ය වියදම්වලින් අඩක් පමණ වැය වන රටක සීමා පිළිබිඹු වේ. මෙහි ඇති අනතුරු සහගත බව වන්නේ කාර්මික ප්‍රතිපත්තියේ නාමයෙන් පෞද්ගලික අංශයේ ආයෝජන කෙරෙහි විශ්වාසය තැබීමයි. රජයේ මුදල් යෙදවීමේ හැකියාව අඩුවීම, සමාජීය වශයෙන් තීරණය වූ භාවිතය වෙත පෞද්ගලික ආයෝජන වැඩි කිරීම මෙහෙයවීමේ හැකියාව අඩුවීමක් බවට පරිවර්තනය විය යුතු නැත.
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කරළියට ගෙන ආ හැක්කේ මෙතැනදීය. උපාය මාර්ගික කර්මාන්තවලදී නොබෙදිය හැකි ආයෝජන ඇති කිරීමට රජයට මූල්‍ය හැකියාව නොමැති නිසා, පෞද්ගලික ආයෝජන හරහා ස්ථාවර ආයෝජන දිරිගැන්වීම ස්වාභාවික සම්පත් ඒකාධිකාරිය මගින් උත්තේජනය කිරීමෙන් රජයට කළ හැකිය. ඉන්දුනීසියාව, නිකල් සහ වඩාත් මෑතකදී සිම්බාබ්වේ රාජ්‍යය ලිතියම් ඇසුරින් ලත් අත්දැකීම් මෙහිදී ඉවහල් කර ගත හැකි වේ. ඉහළ මතුව එන තීරණාත්මක තාක්ෂණ උදෙසා ශ්‍රී ලංකාවට ග්‍රැෆයිට් සහ දුර්ලභ ඛනිජ විසින් උත්තේජන සපයා දෙයි.
අවශ්‍ය වන්නේ, ජාතික අපනයන සංවර්ධන සැලසුම සහ ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය අතර සහක්‍රියාවක් ඇති කරලීමයි. උදාහරණයකට ජාතික අපනයන සංවර්ධන සැලසුමෙන් ක්‍රමෝපාය ප්‍රමුඛතාවක් ලෙස මෝටර් රථ අමතර කොටස් තෝරාගෙන ඇත්නම්, ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය ග්‍රැෆයිට් සහ වෙනත් දුර්ලභ ඛනිජ කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඒ දෙවර්ගයම විද්‍යුත් වාහන උදෙසා අවශ්‍ය වන නිසාය. එහෙත් මෙතෙක් විභවතාව පැහැදිලිව ප්‍රකාශයට පත් කර නැති අතර නිරන්තරයෙන්ම අනතුරු සහගත බව පවතින්නේ ප්‍රතිපත්ති දෙකේම මෙහෙයුම් යටිබිම්ගතව සිදුවන නිසාය.
අලු‍ත් තාක්ෂණය පොකුරු පිටින් එන ප්‍රවණතාවක්, බලශක්තිවල පටන් පවතින අතර අමුද්‍රව්‍ය, යාන්ත්‍රණ සහ තොරතුරු පද්ධති උදෙසා අලු‍ත් ආදර්ශනයකින් ඒවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව උදෙසා වන කාර්මික ප්‍රතිපත්තියට පුළුල් වූ සමස්ත ක්‍රමයක ප්‍රවේශය අවශ්‍ය වන අතර එහිදී ආර්ථිකය දෙස කොටස්වලට වෙන් කළ ස්වරූපයකින් නොබලා ඵලදායිතාවේ හරයක් සහිත පරිසර පද්ධතියක් ලෙස බැලිය යුතු වේ. රාජ්‍ය හැකියාවේ මඳ බව කිසිවක් නොකර සිටීම සම්බන්ධ නිදහසට කාරණයක් නොවිය යුතුය. කාර්මීකරණයට ලක් වූ සෑම රටක්ම කර ඇත්තේ, සතු දේ භාවිත කර ක්‍රියාකාරී වෙමින් ඉගෙන ගැනීමය.


2026 සැප්තැම්බර් 12 Daily FT හි පළවූ Industrial policy for Sri Lanka: New legitimacy, old debates ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ