• රුපියල් මිලියන 180 ක ඇස්තමේන්තුගත පිරිවැයක්

නිමල කොඩිතුවක්කු 


ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

භූගත ජල මූලාශ්‍ර දූෂණය වීම, භූගත ජල ඉල්ලු‍ම ඉහළ යාම, දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටා සහ භූගත ජල ප්‍රති ආරෝපණ ක්‍රියාවලි වෙනස් වීම ආදී අභියෝගවලට මුහුණ දීම සඳහා පියවර ගැනීමේදී දිගු කාලීන තිරසරභාවය සහිත දැනුවත් තීරණ ගැනීම සඳහා සහාය වන වඩාත් ව්‍යුහගත, විශ්වසනීය සහ විද්‍යාත්මක පදනමක් සහිත භූගත ජල තොරතුරු පද්ධතියක අවශ්‍යතාව පැන නැගී තිබේ. 

එහෙත්, වසර ගණනාවක් පුරා රැස් කරන ලදුව ජල සම්පත් මණ්ඩලය සතුව පවතින දත්ත කට්ටල බොහෝ දුරට විසිරී පැවතීම සහ ඒවා ක්‍රමානුකූලව භූ - යොමුගත (Geo-Referenced) කර නොමැතිවීම හේතුවෙන් අවකාශයීය විශ්ලේෂණ සහ විස්තීරණ භූගත ජල කළමනාකරණය සඳහා එම දත්ත ඵලදායී ලෙස භාවිත කිරීමට නොහැකි වී ඇත.

එමෙන්ම, භූගත ජල කළමනාකරණ ක්‍රියාවලියේදී භූගෝලීය තොරතුරු පද්ධති මෙවලම් ප්‍රමාණවත් ලෙස භාවිත නොකිරීම මගින් උසස් අවකාශීය ආකෘති සහ සිතියම්කරණ පද්ධති සංවර්ධනය කිරීම ද සීමා වී තිබේ. 

එබැවින්, එකී අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. භූගත ජල තොරතුරුවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම, ජල සම්පත් මණ්ඩලයේ නියාමන ධාරිතාව ඉහළ නැංවීම, බලපත්‍ර ලබා දීම, නිමානය කිරීම, නීතිය බලගැන්වීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම එමගින් සිදු කෙරෙනු ඇත. 

ඒ අනුව, රුපියල් මිලියන 180 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, යාපනය සහ හම්බන්තොට යන ප්‍රධාන දිස්ත්‍රික්ක 05 මූලික කර ගනිමින්, 2027 වසරේ සිට වසර 03 ක කාලසීමාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.