වසර 15ක දිගු ගමනකින් පසුව, ලෝකයේ ප්‍රමුඛතම මහජන සම්බන්ධතා ආයතන 300 අතරට සිය සන්නාමය රැගෙන ගිය Wire Communication Consultancy Holdings Group නිර්මාතෘ සහ සමූහ සභාපති අශාන් කුමාර් සමග සිදුකළ සංවාදයකි.

2008 වසරේ දී තරුණ මහජන සම්බන්ධතා (PR) වෘත්තිකයකුගේ සිතෙහි නැගුණු සිතුවිල්ලකින් ඇරඹි ගමනක්, වර්තමානය වන විට ශ්‍රී ලාංකීය නාමය ලොව විශාලතම මහජන සම්බන්ධතා ආයතන 300 අතරට රැගෙන යෑමට සමත් වී තිබේ. ඒ PRovoke Media ආයතනයේ 2026 වසරේ ලොව විශිෂ්ටතම PR සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර 282 වන ස්ථානය මෙන්ම එම ශ්‍රේණිගත කිරීම් අතර සිටින එකම ශ්‍රී ලාංකික ආයතනය ලෙස PR Wire සන්නාම නාමය සනිටුහන් කරමිනි. 

2010 දී ආරම්භ කළ PR Wire, අද වන විට, මීඩියා වයර්, ඩිජිටල් වයර් සහ ඉන්ටෙල් වයර් ආදී ඒකක කිහිපයක් දක්වා විහිදෙමින් Wire Communication Consultancy Holdings Group ලෙස වර්ධනය වී ඇත. ආයතනයට වසර 15ක් සපිරෙන මේ වසරේදීම රටට මහත් ගෞරවයක් ගෙනදෙමින් දිනා ගැනීමට හැකි වූ මෙම සුවිශේෂී ඇගයීම පිළිබඳ, එහි නිර්මාතෘ සහ සමූහ සභාපති අශාන් කුමාර් සමග අප කළ සාකච්ඡාව පහතින් දැක්වේ.

 “උපතින්ම හිමි වූ දේපළ  හෝ පවුල් ව්‍යාපාර  උරුමයක් තිබුණේ නැහැ”‍ 

Q ඔබේ ගමන ආරම්භ වුණේ කොහොමද?
“මට උපතින්ම උරුම වූ විශාල දේපළක්, මූල්‍ය පසුබිමක් හෝ පවුල් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. මට තිබුණේ ස්වයං පර්යේෂණ ඔස්සේ හඳුනාගත් අවස්ථාවක් පමණයි. මම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මහජන සම්බන්ධතා පිළිබඳ සැබැවින්ම බොහෝ උනන්දු වුණා. එවකට නියැළී සිටි ආයතනික රැකියාව අතහැර ව්‍යවසායකයකු වීමේ තීරණය එතරම් පහසු වුණේ නැහැ. ඒ වගේම ව්‍යවසායකයකුට සහාය ලබා දෙන පරිසරයක් අද මෙන් ඒ කාලේ තිබුණෙත් නැහැ. මම උපදෙස් පැතූ පිරිසත් සිටියේ මා මෙන්ම කිසියම් අවිනිශ්චිත තත්වයකයි. එහෙත් අවසානයේදී මම ඒ තීරණයට පැමිණියා. පළමු ගනුදෙනුකරුවන් තිදෙනා මා සමග කටයුතු කිරීමට එකඟ වූවාට පසු අපි ආපහු හැරී බැලු‍වේ නැහැ.”‍

එලෙස ඇරඹි ගමන සඳහා ඔහුට මග පෙන්වූ සියලු‍ම දෙනා පිළිබඳ ඔහු අදටත් බෙහෙවින් කෘතඥ වේ. විශේෂයෙන්ම මහජන සම්බන්ධතා ලෝකයට තමාව හඳුන්වා දුන් ජයන්ත සිත්තම්පලම් වැනි ගුරුවරුන් මෙන්ම මාතෘ භූමිය කෙරෙහි ඇති සදාචාරාත්මක වගකීම ගැන සිතන්නට ඔහු යොමු කළ අජිත් අබේසේකර වැනි උපදේශකයන් ද ඔහු නිරන්තරයෙන් සිහිපත් කරයි.

Q ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ ඉගෙන ගත් වැදගත්ම පාඩම කුමක්ද?
“මුල් කාලේ දී දවසට පැය 25ක් පමණ තනිව වැඩ කළ දවස් තිබුණා. ඒත් තනිවම දුවලා ආයතනයක් ගොඩනගන්න බැහැ. ආයතනයක් දුර ගමනක් යන්නේ එක් පුද්ගලයකුගේ ප්‍රයත්නවලින් නොවේ. ඒ සඳහා මුළු කණ්ඩායමේම සහයෝගය අවශ්‍ය‍යයි. ඒ නිසා මිනිසුන් දිරිමත් කිරීම පමණක් නොව, ඔවුන් නිරන්තරයෙන්ම සවිබල ගැන්වීමට ද මම උත්සාහ කරනවා. ඉගෙනගන්න, පැරණි දේ අත්හරින්න, ආයෙත් අලු‍තෙන් ඉගෙනගන්න උනන්දුවක් දක්වන ඕනෑම කෙනකුට අපි ඉඩක් ලබා දෙනවා.”‍

 “දේශීයත්වයේ  මුල් වැළඳගත් ගෝලීය  අධිෂ්ඨානයක්”‍ 

Q ලෝකයේ ප්‍රමුඛතම මහජන සම්බන්ධතා ආයතන 300 අතරට එක්වීමට ලැබීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

“ශ්‍රී ලංකාවේ ස්වාධීන උපදේශන ආයතනයක්, ගෝලීය සුවිශාල ආයතන අතර ශ්‍රේණිගත වීම, ප්‍රධාන කලාපීය ආර්ථිකයන්ට පිටින් සිටින දකුණු ආසියානු ආයතන සඳහා ඉතා දුර්ලභ ගණයේ ජයග්‍රහණයක්. සැමවිටම මගේ අරමුණ වුණේ ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතා කර්මාන්තය ද ලොව ඕනෑම සංවර්ධිත රටකට සමාන මට්ටමක පවතින බව ලෝකයට පෙන්වීමයි.”‍

ඔහුගේ මෙම ගෝලීය දැක්ම ආරම්භයේ සිටම පැවැති අදහසකි. 2020 දී ද ඔහු පවසා සිටියේ, දේශීය මුල් සමග ගොඩනැගුණු ගෝලීය මහජන සම්බන්ධතා ආකල්පයක් සමග ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා ආයතනයේ ව්‍යාපාර පුළුල් විය.

Q ශ්‍රී ලාංකිකයන්ට ගෝලීය අවකාශයට ගමන් කිරීමට අවස්ථා තිබෙනවාද?
“ඔව් අවස්ථාව තිබෙනවා. ලෝකයට අවශ්‍ය වන්නේ හොඳ අදහස්, දැනුම, විශ්වාසය සහ විශ්වසනීයත්වයයි. ඒවා ගොඩනංවා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට කිසිදු බාධාවක් නැහැ. දක්ෂ, පළපුරුදු වෘත්තිකයන්ගේ හිඟයක් අපගේ කර්මාන්තය තුළ තිබෙනවා. එම නිසා ඉගෙන ගැනීමට, ගැඹුරින් සිතීමට සහ වගකීම් දැරීමට කැමැති තාරුණ්‍යයට අද දැවැන්ත අවස්ථා ප්‍රමාණයක් විවර වී තිබෙනවා.”‍

 ඊළඟ පරම්පරාවේ  “සන්නිවේදන  ව්‍යවසායකයන්”‍  ගොඩනැඟීම 

Q ඔබ නිතර සඳහන් කරන “Communipreneur” කියන්නේ කවුද?
“Communipreneur කියන්නේ සන්නිවේදන ව්‍යවසායකයා. එනම් Communication සහ Entrepreneur කියන වචන ද්විත්වයේ එකතුවක්. ඔහු හෝ ඇය අලු‍ත් අදහසක් රැගෙන, අවදානම්වලට මුහුණදෙමින් තවත් පිරිසකට අවස්ථා නිර්මාණය කරන කෙනෙක්. ශ්‍රී ලංකාවට අද වඩාත්ම අවශ්‍ය වී තිබෙන්නේ එවැනි පිරිසක්. මන්දයත්, අපි කුමන දේ කළත් එමගින් නිවැරදි දැනුවත්භාවයක් නිර්මාණය නොකළහොත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් හිමිවන්නේ නැහැ. එය කිරීමට හොඳ සන්නිවේදකයන් අවශ්‍යයයි.”‍

Q ඒ සඳහා කර්මාන්තයක් ලෙස කළ යුත්තේ මොනවාද?
“මා පෙර සඳහන් කළ පරිදිම අපේ කර්මාන්තය තුළ දක්ෂ, පළපුරුදු වෘත්තිකයන්ගේ හිඟයක් පවතිනවා. ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් බොහෝ පිරිසක් වෙනත් ආයතනවල නායකත්ව තනතුරුවලට යොමු වී තිබෙනවා. ඒ වගේම විදේශ රැකියාවලින් බුද්ධිගලනය වී තිබෙනවා. එම හිස්තැන පිරවීමට ඇති එකම මාර්ගය වන්නේ ඊළඟ පරම්පරාවක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා කර්මාන්තයට පොදු හඬක්, ප්‍රමිතියක් සහ ආචාරධර්මයක් අවශ්‍යයයි.”‍

ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතා වෘත්තියට වසර 30කට අධික ඉතිහාසයක් තිබුණත් එහි පළමු වෘත්තීය සංගමය බිහි වූයේ 2023 දී ස්ථාපිත වූ Public Relations Association of Sri Lanka (PRASL) හරහායි. එම සංගමයේ මූලික කණ්ඩායම කැඳවා සංගමය ගොඩනැගීමේ කැඳවුම්කරුවා ලෙස කටයුතු කරනු ලැබුවේ ද අශාන් කුමාර් විසිනි.

Q විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ ගමනට සම්බන්ධ වන්නේ කෙසේද?
“වෘත්තිකයෙක් නිර්මාණය වන්නේ පන්තිකාමරයේ දී පමණක් නොවේ. එහෙත් එය ආරම්භ වන්නේ පන්ති කාමරයෙන්. එබැවින් කර්මාන්තය ඒ සඳහා අත්වැලක් සැපයිය යුතුයි.”‍

2025 මාර්තු 14 වැනි දින PRASL  සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන අංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ (PRMM) ගෞරව උපාධියක් පිරිනමන එකම උසස් අධ්‍යාපන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයයි. වසර 03ක් සඳහා වලංගු වන මෙම ගිවිසුම හරහා විෂය නිර්දේශ සංවර්ධනයට සහාය, කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දේශන, අභ්‍යාසලාභී පුහුණු අවස්ථා, රැකියා ප්‍රදර්ශන, සහ සිසුන්ට කර්මාන්ත පර්යේෂණවලට දායක වීමේ අවස්ථා පිරිනමයි. 

”‍කැලණිය විශ්වවිද්‍යාලයේ PRMM උපාධිධාරීන් වැඩිම සංඛ්‍යාවක් සේවයේ නියැළී සිටින ආයතනයක් ලෙස අපි එම ගමනේ ඉදිරියෙන්ම සිටිනවා. තරුණ දක්ෂයකුට නිසි අවස්ථාවක් හිමි වූ විට ඔහුට හෝ ඇයට දිගු ගමනක් යා හැකියි. අපි උත්සාහ කරන්නේ එම අවස්ථාව නිර්මාණය කිරීමටයි.”‍

 සන්නිවේදනය  වෙනස් වන ආකාරය 

Q සන්නිවේදන ක්ෂේත්‍රය දැන් වර්ධනය වන්නේ කුමන දිශාවටද?
“මම මේ ගමන ආරම්භ කළ කාලයේදී මහජන සම්බන්ධතා අර්ථ ගැන්වුණේ බොහෝවිට මාධ්‍ය සම්බන්ධතා ලෙසයි. එහෙත් මේ වන විට එය උපායමාර්ගික මෙන්ම දත්ත මත පදනම් වූ ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා. සන්නිවේදනය ඔස්සේ ඉලක්ක වන්නේ, ක්‍රියාවලියකට වඩා ප්‍රතිඵලයක්. අද සන්නිවේදනය ව්‍යාපාර, දේශපාලනය, සමාජ සහ පරිසර ගැටලු‍ යන සෑම ක්ෂේත්‍රයකම පොදු සාධකයක් බවට පත් වී තිබෙනවා.”‍

ඔහු 2021 දී පෙන්වා දුන්නේ, 2020 දී ඩොලර් බිලියන 500ක් වූ ගෝලීය සන්නිවේදන වෙළෙඳපොළ 2026 වන විට ඩොලර් බිලියන 800ක් පමණ දක්වා වර්ධනය වන බව විශ්ලේෂකයන් පුරෝකථනය කළ බවයි. එම වර්ධනයේ කොටසක් ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ද හිමි කරගත හැකි බව ඔහුගේ විශ්වාසයයි.

Q එම වෙනස්කම් සඳහා ඔබ සිදු කරන්නේ මොනවාද?
“අද කීර්තිනාමය නිර්මාණය වන්නේ තත්‍ය කාලීනව, බොහෝවිට ආයතන ගැටලු‍වක් පිළිබඳ දැනගැනීමටත් පෙරයි. එබැවින් අපි මෑතකදී ‘ඉන්ටෙල් වයර්’ නම් අපගේ උපායමාර්ගික බුද්ධි ඒකකය දියත් කළා. 

එමගින් ආයතනවලට අවදානම් තත්ව පූර්ව වශයෙන් හඳුනා ගැනීමටත්, පාර්ශ්වකරුවන්ගේ හැඟීම් තත්‍ය කාලීනව කළමනාකරණය කිරීමටත් හැකියාව ලැබෙනවා. අපි වචනවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගමන් කරමින් සංකීර්ණ තොරතුරු මැනිය හැකි තොරතුරු බවට පරිවර්තනය කරනවා.”‍

 ව්‍යාජ තොරතුරු සහ  ධ්‍රැවීකරණය අතරේ  වගකිවයුතු සන්නිවේදනය 

ලෝක ආර්ථික සංසදය විසින් ඉදිරිපත් කර ඇති 2026 වසරේ ගෝලීය අවදානම් වාර්තාවට අනුව, ඉදිරි වසර 02 තුළ ලෝකය මුහුණ දෙන බරපතළම අවදානම් අතර වැරදි සහ ව්‍යාජ තොරතුරු දෙවන ස්ථානයේ පවතී. සමාජ ධ්‍රැවීකරණය ද එම වාර්තාවේ ඉහළම අවදානම් ත්‍රිත්වය අතර වේ

වැරදි තොරතුරු (Misinformation) යනු නොදැනුවත්ව බෙදාහරින තොරතුරුය. ව්‍යාජ තොරතුරු (Disinformation) යනු මිනිසුන් මුළා කිරීමේ හෝ හානි කිරීමේ අරමුණින් සැලසුම් කර ප්‍රචාරය කරන තොරතුරුය. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ව්‍යාජ රූප, හඬ සහ වීඩියෝ පවා අද තත්පර කිහිපයකින් සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ. මෙවැනි පසුබිමක සහ අනාගතයක සන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින පිරිසට මෙය බරපතළ වගකීමක් එකතු කරයි.

Q  මේ යුගයේ මහජන සම්බන්ධතා වෘත්තිකයකුගේ ප්‍රධානතම වගකීම කුමක්ද?
“මහජන සම්බන්ධතා යනු කිසියම් කතාවක් හැඩගැස්වීම නොවෙයි. එය විශ්වාසය ගොඩනැගීමයි. එබැවින් ගනුදෙනුකරුවකුගේ ඉල්ලීමට වුව සත්‍ය නොවන යමක් සත්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකියි. ප්‍රචාරය වෙන දෙයක් ප්‍රකාශ කරන්නේ කවුද? ඒ සම්බන්ධයෙන් පවතින සාක්ෂි මොනවාද? එය මුදල් ගෙවා ප්‍රචාරය කරන දෙයක් ද? ආදි කරුණු පැහැදිලි විය යුතුයි. කෘත්‍රිම බුද්ධිය භාවිත කර නිර්මාණය කළ අන්තර්ගතයක් නම් එය එලෙසින්ම සඳහන් කළ යුතුයි. කෙටි කාලීන ප්‍රචාරයට වඩා දිගුකාලීන විශ්වාසය වටිනාකමෙන් ඉතා ඉහළයි.”‍

Q  ධ්‍රැවීකරණය (Polarization) වැඩි වන සමාජයක සන්නිවේදකයකු කළ යුත්තේ මොකක්ද?
“පාර්ශ්වකරුවා (Stakeholder) යනු, ආයතනයක නිෂ්පාදනය හෝ සේවා ඔස්සේ බලපෑමට ලක්වන ඕනෑම පුද්ගලයෙක්. එබැවින් ඒ සියලු‍දෙනාටම සමීප වන සන්නිවේදනයක් අප සිදුකළ යුතුයි. බිය හෝ කෝපය දනවන භාෂාව හරහා ජනතාවගේ අවධානය ඉතා ඉක්මනින් ලබා ගත හැකියි. එහෙත් ඒ අවධානය විශ්වාසයක් නොවේ. ජාති, ආගම්, දේශපාලන ආදී වශයෙන් විවිධ බෙදීම් ඇති අපේ වගේ රටක, සන්නිවේදනය ඔස්සේ සිදු කළ යුත්තේ බෙදීම් තවදුරටත් ගැඹුරු කිරීම නොව අවබෝධය ගොඩනැංවීමයි.”‍

Q ව්‍යාජ කතාවක් ආයතනයකට එරෙහිව පැතිරෙන විට කළ යුත්තේ කුමක්ද?
“වර්තමානයේදී කීර්තිනාමය ගොඩනැගෙන්නේ බොහෝවිට ආයතන ගැටලු‍වක් දැනගැනීමටත් ප්‍රථමයෙන්, තත්‍ය කාලීනවය. අප සමාගම සහ කණ්ඩායම තුළින් අවදානම් කල්තියා හඳුනාගැනීමටත්, පාර්ශ්වකරුවන්ගේ හැඟීම් තත්‍ය කාලීනව තේරුම් ගැනීමටත් උත්සාහ කරන්නේ එබැවින්. ව්‍යාජ තොරතුරක් පැතිරීම ආරම්භ වූ විට එහි පළමු පැය කිහිපය තීරණාත්මකයි. එම අවස්ථාවේදී සත්‍ය තොරතුරු පැහැදිලිව, කඩිනමින් මෙන්ම නිහතමානීව ප්‍රකාශයට පත් කිරීමට හැකි ආයතනයකට ඔවුන් එතෙක් ගොඩනගා ගත් විශ්වාසය ආරක්ෂා කරගැනීමට හැකියි.”‍

Q මෙම ක්ෂේත්‍රයේ වෘත්තිකයකු නොවන සාමාන්‍ය පාඨක ජනතාව වෙනුවෙන් ඔබට ලබා දිය හැකි උපදෙස් මොනවාද?

“වර්තමානයේදී, සමාජ මාධ්‍යය තුළ සිටින ඕනෑම පුද්ගලයෙක් ප්‍රකාශකයෙක්. එමනිසා අප සැමදෙනා සතුවම සන්නිවේදන වගකීම තිබෙනවා. බෙදාගැනීමේ බොත්තම එබීමට පෙර මේ කරුණු හතර මතක තබාගන්න.

මූලාශ්‍රය කවුද? එය විශ්වසනීය මෙන්ම හඳුනාගත හැකි ආයතනයක්ද?
වෙනත් විශ්වසනීය මාධ්‍යවලත් එම තොරතුරු වාර්තා වී තිබේද? දිනය සහ අන්තර්ගතය නිවැරදි ද? පැරණි ඡායාරූපයක් අලු‍ත් සිදුවීමක් ලෙස දක්වා තිබේද? මෙය දකින විට මට දැනෙන්නේ කෝපයක් හෝ බියක් ද? එවැනි හැඟීමක් ඇති කිරීමම ඒ අන්තර්ගතයේ අරමුණ විය හැකියි.”‍

Q මේ සඳහා ඊළඟ පරම්පරාව සූදානම් කරන්නේ කෙසේද?

“දක්ෂතාව ඉගැන්විය හැකියි. එහෙත් අඛණ්ඩතාව සහ සාරධර්ම පළමුව තිබිය යුතුයි. එබැවින් Communipreneurs ගොඩනැගීමේදී ප්‍රමිති සහ සදාචාරය මුල සිටම වැදගත් වේ.”‍ 

PRASL හි අරමුණු අතර ඉහළ වෘත්තීය ප්‍රමිති සහ සදාචාරාත්මක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම ද අන්තර්ගත වේ.

Q  සමස්තයක් ලෙස, ව්‍යාපාරයකට වගකීම පැවරෙන්නේ කොතැනින්ද?
“ලාබයෙන් ඔබ්බට ගමන් කරමින් ව්‍යාපාරයක් දෙස බැලිය යුතුයි. අප විශ්වාස කරන්නේ ත්‍රිත්ව පදනම් ආකෘතියයි. (Triple Bottom Line) එනම්, ජනතාව, පරිසරය සහ ලාබය යන ත්‍රිත්වයයි. බොහෝ දෙනා හිතන්නේ මුදල් එකම ව්‍යවහාර අගය ලෙසයි. එහෙත් අපේ අත්දැකීම් අනුව අපිව මෙතෙක් දුර රැගෙන ආවේ ජාලය, හවුල්කාරිත්වය සහ ක්‍රියාවන්. එමනිසා ප්‍රචාරණ අය වැයක් නොමැති දේශීය ව්‍යාපාර සහ ජනතා අරමුණුවලටත් අපි අපේ දැනුමෙන් සහයෝගය ලබා දෙනවා.”‍

Q  නව සාමාජිකයකු තෝරාගැනීමේදී ඔබ ප්‍රථමයෙන්ම සලකා බලන්නේ කුමක්ද?
“අඛණ්ඩතාව සහ සාරධර්මයයි. අරමුණු මත පදනම් වූ සංවාද සහ වගකීම් කෙරෙහි ඔහුගේ/ඇයගේ ආකල්පය කුමක්ද යන්න පිළිබඳ අපි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරනවා. මන්දයත්, කුසලතා ඉගැන්විය හැකි නමුත් ආකල්ප එසේ කළ නොහැකියි.”‍

 දේශීය දේ ලොවට  රැගෙන යාම සහ ගෝලීය  වටිනාකම් එකතු කිරීම 

Q ගෝලීය වීම කියන්නේ රට අත්හැරීමක් ද?

“නැහැ, එය රට වෙනුවෙන් යමක් ආපහු රැගෙන එන ගමනක්. අපි ලංකාවේ සිට ලෝකයේ ගනුදෙනුකරුවන්ට සේවය සපයන සෑම මොහොතකම, ඒ ඔස්සේ ලැබෙන දැනුම, අත්දැකීම, ආදායම සහ ගෞරවය හිමි වන්නේ අපේ රටටයි. අපේ රටේ අභියෝග තිබෙනවා. ඒත් ඒ හැම අභියෝගයක් පසුපසම අවස්ථාවක් ද තිබෙනවා. තරුණ දක්ෂයන්ට රට තුළම රැකියාවක් මෙන්ම අනාගතයක් නිර්මාණය කර දීම, ශ්‍රී ලංකාවේ සේවා ලෝකයට අපනයනය කිරීම, ශ්‍රී ලංකාවේ සත්‍ය කතාව ලෝකයට වගකීමෙන් යුතුව ඉදිරිපත් කිරීම ආදී සියල්ලම රට වෙනුවෙන් සහයෝගය ලබා දිය හැකි ක්‍රමවේද. ශ්‍රී ලංකාව ගැන සිතමින් ලොකුවට සිහින දකින සෑම කෙනෙක්ම ඒ ගමනේ හවුල්කරුවන්.”‍

 ඉදිරි ගමන 

Q ඊළඟ පරම්පරාවේ ව්‍යවසායකයන්ට ඔබ ලබාදෙන පණිවිඩය මොකක්ද ?

“සාර්ථකත්වය කියන්නේ මට හදවතට සම්බන්ධ දෙයක්. එය අපට ඒ තුළින් දැනෙන සතුට සහ අපව විශ්වාස කළ පිරිස සමග බෙදාගන්නා සතුටයි. ලොකුවට සිහින දකින්න, ඒ වගේම ඒ සිහිනය සැබෑවක් කරගැනීමට අවශ්‍ය වෙහෙස ඉවසීමෙන් දරන්න. ශ්‍රී ලංකාවේ සිට ගෝලීය අවකාශයට ගමන් කිරීමට ඔබට බාධාවක් නැහැ.”‍

වසර 15ක ගමන් මගෙහි පසුබිමින් ඔහු නැවත නැවතත් ඉතා සරල ආදර්ශ පාඨයක් ඉස්මතු කරයි. එනම්, 
“අඛණ්ඩව විශ්වාස කරමින් ජීවිත වෙනස් කිරීම අපගේ අරමුණයි”. (Continue to Believe. Continue to Change a Life.) “

  • PR Wire පිළිබඳ කෙටි හැඳින්වීමක්

ආරම්භය: 2010 

සමූහය: Wire Communication Consultancy Holdings Group - PR වයර්, මීඩියා වයර්, ඩිජිටල් වයර්, ඉන්ටෙල් වයර්
ජාත්‍යන්තර ව්‍යාප්තිය: ශ්‍රී ලංකාව, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය 

ඇගයීම් සහ සම්මාන:

PRovoke Media Global Top 300 (2026) - ලෝකයේ 282 වැනි ස්ථානය සහ ශ්‍රේණිගත කිරීම් අතර රැඳුණු ශ්‍රී ලංකාවේ එකම ආයතනය

සිව්වැනි වරටත් PRovoke Media “ආසියා පැසිෆික් කලාපයේ රැකියා සඳහා හොඳම සේවා ස්ථානය”

ලෝක PR කිරුළ (PR World Awards) - රන් (2017, 2019) සහ රිදී (2020)

ගෝලීය සම්බන්ධතා: මහජන සම්බන්ධතා ආයතන 50කට ආසන්න ගණනක්

අධ්‍යාපනය: කොළඹ වෙස්ලි විද්‍යාලය, එඩින්බර්ග්හ් නේපියර් විශ්වවිද්‍යාලය (ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂවේදී)