ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ලෝක බැංකු සමූහයෙහි විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අය්යර් මහතා පසුගියදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමු වූ බව එම අමාත්‍යාංශය පවසයි. 

මෙම හමුව සඳහා ලෝක බැංකුවෙහි මාලදිවයින්, නේපාල සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් මහතාද සහභාගි වී තිබේ. මෙහිදී අදහස් දක්වා ඇති විධායක අධ්‍යක්ෂවරයා නැගී එන වෙළෙඳපොළ තුළ රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය සිය ප්‍රමුඛ අංශ බව පවසා තිබේ. එහිදී බලශක්තිය සහ ප්‍රවාහනය ඇතුළු යටිතල පහසුකම් මෙන්ම කෘෂිව්‍යාපාර, සෞඛ්‍ය සේවා, සංචාරක සහ අගය එකතු කළ නිෂ්පාදනද වන බව ඔහු සදහන් කර ඇත. 

මෙහිදී අදහස් දක්වා ඇති ආචාර්ය සූරියප්පෙරුම මහතා, ආයෝජන ආකර්ෂණයට, සියල්ල එක් වූ වර්ධනයක් ප්‍රවර්ධනයට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජ සංවර්ධනයට වැදගත් වන අංශ තුළ සහයෝගිතාව ශක්තිමත් කිරීම යනාදී ක්‍රමෝපාය පවතින බව පවසා තිබේ.