• වෙබ් අඩවි අතරින් සියයට 91කට සාර්ථකව පිවිසිය හැකියි 
  • දෙපාර්ත‍මේන්තු 358 ක වෙබ් අඩවි අතරින් සියයට 37.7කට A ශ්‍රේණිය 

රජයේ අමාත්‍යාංශ 25 ක සහ දෙපාර්තමේන්තු 358 ක වෙබ් අඩවි අතරින් සියයට 91.1ක් වෙතම පිවිසීමට හැකියාව පවතින බව අලු‍ත්ම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් සියයට 8.9 ක ප්‍රතිශතයකට පිවිසීම අඩාළ බව සඳහන් වන අතර එය සෑම වෙබ් අඩවි 11 කින් 1ක් ලෙස හඳුනාගෙන ඇතැයිද මේ සමීක්ෂණය පෙන්වා දෙයි. 

තාක්ෂණ පර්‌යේෂණ ආයතනයක් වන ලංකා ඩේටා ෆවුන්ඩේෂන් විසින් මෑතකදී නිකුත් කරන ලද රජයේ වෙබ් අඩවි ලකුණු සටහන (Government Website Scorecard) තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 

මෙම සමීක්ෂණයේදී රජයේ වෙබ් අඩවි 577 ක් සම්බන්ධයෙන් කරුණු රැස් කරගෙන ඇති අතර, එම වෙබ් අඩවි A සිට F දක්වා වූ ශ්‍රේණි ලෙස වර්ග කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ 25 ක් අතරින් සියයට 76.5ක බහුතරයක් වෙත A ශ්‍රේණිය හිමිව තිබේ. දෙපාර්තමේන්තු 358 ක වෙබ් අඩවි අතරින් සියයට 37.7 ක් වෙත පමණක් A ශ්‍රේණිය හිමිව ඇති අතර, එම වෙබ් අඩවි හයකින් එකක් වෙත පිවිසීම අසීරු බව හඳුනාගෙන තිබේ. 

මේ අතර රජයේ අමාත්‍යාංශ 25 ක් සහ දෙපාර්තමේන්තු 358ක් අතරින් සියයට 91.3 ක බහුතරයක් වෙත gov.lk වෙබ් දිගුව ලැබී ඇති අතර, සියයට 8.7කට එය නොමැති බවත් පැවසෙයි. 

මෙම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළත් රජයේ වෙබ් අඩවි අතරින් සියයට 93.3 ක් වෙතම වඩාත් ආරක්ෂිත වෙබ් අඩවි පිවිසුමකට වැදගත් වන පිළිගත් SSL සහතිකයක් හිමිව තිබෙන බවත් මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. 

එසේම මෙම රජයේ වෙබ් අඩවි අතරින් බහුතරය එනම් සියයට 57.6ක්ම ඉංග්‍රීසි භාෂාව මූලික කරගෙන ඉදිරිපත්ව තිබේ. එසේම ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකම සහිත වෙබ් අඩවි සියයට 4.2ක ප්‍රතිශතයක්ද, ඉංග්‍රීසි - සිංහල සහ දෙමළ යන භාෂා තුනම සහිත වෙබ් අඩවි ප්‍රතිශතය සියයට 36.7ක් ලෙසත් පවතී.