• පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රැපියල් බිලියන 700.8ක හෙවත් සියයට 21.2ක වැඩිවීමක්
  • මෙම වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු ආදායම රැපියල් බිලියන 5,300ක්
  • පළමු මාස අට තුළ ඉලක්කයෙන් සියයට 75.5ක් සපුරාලා
  • භාණ්ඩ හා සේවා මත අය කළ බදු ආදායම රැපියල් බිලියන 2,367ක් දක්වා වැඩි වෙලා
  • වැට් බද්දෙන් ලැබුණු ආදායම රැපියල් බිලියන 1,322.7ක්
  • රජයේ සමස්ත බදු ආදායම රැපියල් බිලියන 3,684ක්

විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස අටේදී ප්‍රදාන ඇතුළුව රජයට ලැබුණු මුළු ආදායම රුපියල් ට්‍රිලියන හතර ඉක්මවා ඇති අතර, භාණ්ඩ හා සේවා මත අය කළ බදුවලින් පමණක් රුපියල් ට්‍රිලියන 2.36ක ආදායමක් රජයට ලැබී ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව පෙන්වා දෙයි.

පළමු මාස අටේදී ප්‍රදාන ඇතුළු රජයේ මුළු ආදායම රුපියල් බිලියන 4,002.3ක් වී තිබේ. පසුගිය වසරේ එම කාලයේදී ලැබුණු රුපියල් බිලියන 3,301.5ට සාපේක්ෂව එය රුපියල් බිලියන 700.8ක හෙවත් සියයට 21.2ක වැඩිවීමකි.

මෙම වසර සඳහා ඇස්තමේන්තු කර ඇති ප්‍රදාන ඇතුළු මුළු ආදායම රුපියල් බිලියන 5,300ක් වන අතර, පළමු මාස අට තුළ එම ඉලක්කයෙන් සියයට 75.5ක් සපුරා ඇත.

භාණ්ඩ හා සේවා මත අය කළ බදු ආදායම පසුගිය වසරේ පළමු මාස අටේදී රුපියල් බිලියන 1,939ක් වූ අතර, මෙම වසරේදී එය රුපියල් බිලියන 2,367ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව එම ආදායම රුපියල් බිලියන 428කින් හෙවත් සියයට 22කින් පමණ ඉහළ ගොස් ඇත. රජයේ මුළු ආදායමෙන් සියයට 59ක් පමණ ලැබී ඇත්තේ මෙම බදු කාණ්ඩයෙනි.

එම කාණ්ඩයට අයත් එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්දෙන් ලැබුණු ආදායම පළමු මාස අටේදී රුපියල් බිලියන 1,322.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ එම කාලයේදී එය රුපියල් බිලියන 1,084.2ක් වූ අතර, මෙම වසරේදී සියයට 22කින් වැට් බදු ආදායම වර්ධනය වී ඇත.

දේශීය ආර්ථික කටයුතුවලින් අය කළ වැට් බදු ආදායම සියයට 28කින්ද, ආනයන මත අය කළ වැට් බදු ආදායම සියයට 16කින්ද වැඩි වී තිබේ. ආනයන මත අය කළ වැට් බද්දෙන් පමණක් පළමු මාස අටේදී රුපියල් බිලියන 599ක් ලැබී ඇතැයි වාර්තාව සඳහන් කරයි.

මෝටර් රථවලින් ලැබුණු බදු ආදායමේ වර්ධනය සමස්ත රාජ්‍ය ආදායම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක වී ඇත. මේ අතර ආදායම් බදුවලින් ලැබුණු මුදල පසුගිය වසරේ පළමු මාස අටේ පැවැති රුපියල් බිලියන 702.4 සිට මෙම වසරේදී රුපියල් බිලියන 825.6ක් දක්වා සියයට 18කින් වැඩි වී තිබේ.

මෙම කාලයේ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 3,684ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 20ක වර්ධනයකි. බදු නොවන ආදායම රුපියල් බිලියන 315ක් පමණ දක්වා සියයට 39.1කින් ඉහළ ගොස් ඇත. ප්‍රදාන හැර රජයේ මුළු ආදායම රුපියල් බිලියන 3,998.3කි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු මාස අටේදී රුපියල් බිලියන 1,728ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,727ක්ද රැස් කර තිබේ. එම ආයතන දෙක වෙන් වෙන් වශයෙන් සමස්ත බදු ආදායමෙන් සියයට 47කට ආසන්න ප්‍රතිශතයකට දායකත්වයක් ලබාදී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සියයට 71.9ක්ද, රේගුව සියයට 78.3ක්ද සපුරා තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 182ක් රැස් කරමින් සිය වාර්ෂික ඉලක්කයෙන් සියයට 74.5ක් සපුරා ඇත.

ආදායම ඉහළ යෑම සහ වියදම් කළමනාකරණය හේතුවෙන් පළමු මාස අටේදී රජයේ සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ පළමු මාස අටේදී රුපියල් බිලියන 411ක අයවැය හිඟයක් පැවැතිණි.

මෙම වසරේ පළමු මාස අටේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,966.9ක් වී ඇති අතර, පසුගිය වසරේ එම කාලයේ පැවැති රුපියල් බිලියන 3,712.5ට සාපේක්ෂව එය සියයට 6.9ක වැඩිවීමකි. එහිදී පැවැත එන වියදම රුපියල් බිලියන 3,531ක්ද, ප්‍රාග්ධන වියදම් හා ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 435.9ක්ද වී තිබේ.

රජයේ පොලී ගෙවීම් රුපියල් බිලියන 1,687.6 සිට රුපියල් බිලියන 1,609.2ක් දක්වා සියයට පහකින් පමණ අඩු වී ඇත. පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් ආදායමෙන් අඩු කළ විට ලැබෙන ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 1,644.6ක් වී ඇති අතර, පසුගිය වසරේ එම කාලයේදී එය රුපියල් බිලියන 1,276.5ක් විය.