කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ආරම්භක සීනුව නාදකරයි


මහජන බැංකුව, සිය People’s Pay - Mobile wallet app  යෙදවුම හරහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා බැංකු කටයුතු සිදුකිරීමේ පහසුකම් සැලසීමට Lanka Securities (Pvt) Ltd (LSL)  සමග අත්වැල් බැඳ ගැනීම සනිටුහන් කරමින් කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳපොළ ආරම්භක සීනුව (Market opening bell)  නාදකිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

දේශීය වෙළෙඳපොළේ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යන ද්විත්වයම එකම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව සිදුකිරීමේ හැකියාව ලැබෙන අතර, ඒ අනුව කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා සියලු බැංකු කටයුතු සිදුකිරීමේ පහසුකම් සැලසේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසාබණ්ඩාර, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක, ප්‍රධාන නියාමන නිලධාරිනි නිලූපා පෙරේරා, Lanka Securities (Pvt) Ltd  හි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෝසල ගමගේ යන මහත්ම මහත්මින්, බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු හා ප්‍රාග්ධන වෙළෙඳපළේ පුමුඛයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ නිලධාරීන් සහභාගි වූහ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතා මෙසේ පැවසීය. ‘ඩිජිටල් බැංකුකරණය හා නව්‍යකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට සහාය වීමට මහජන බැංකුව කැපවී සිටී. රජයේ ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයට සමගාමිවද සිදුකරන මෙම මුලපිරීම තුළින් බැංකු සහ ආයෝජන සේවා එකම වේදිකාවක් මතට ගෙන එන අතර, මේ ඔස්සේ මූල්‍ය කටයුතු සඳහා ප්‍රවේශ විම පුළුල් වනු ඇති අතර, මූල්‍ය අන්තර්ගතකරණයද වර්ධනය වනු ඇත.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. ‘ඩිජිටල් බැංකුකරණ පහසුකම් මහජනතාව වෙත ගෙන යාම සඳහා අප බැංකුව නිරන්තරයෙන්ම කටයුතු කරනවා. මෙම මුලපිරිමත් මෙම ඩිජිටල්කරණ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක්. Lanka Securities (Pvt) Ltd  (LSL) සමඟ එක්ව හඳුන්වාදෙන මෙම පහසුකම තුළින් ගනුදෙනුකාර පහසුව වැඩි දියුණු වන අතර, බාධාවකින් තොරව, ඒකාබද්ධ ඩිජිටල් අත්දැකීමක් හරහා ආයෝජන අවස්ථා සඳහා පුළුල් ප්‍රවේශයක් නිර්මාණය වනු නිසැකයි.’

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා මෙසේ පැවසීය. ‘ප්‍රාග්ධන වෙළෙඳපොළේ පාර්ශ්වකරුවන් අතර ඇතිවන සහයෝගිතාවෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිඵල පිළිබඳ මෙය හොඳ නිදසුනක් වෙනවා. පුළුල් සහභාගීත්වය වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කරන අතර, වැඩි ඉතුරුම් ඵලදායී ආයෝජනය බවට පත්වේ. අවසන් වශයෙන් එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතු වේ. මේ වෙනුවෙන් අප මහජන බැංකුවට සහ Lanka Securities  ආයතනයට සුබ පැතුම් එක්කරමු.’

Lanka Securities (Pvt) Ltd  හි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෝසල ගමගේ මහතා මෙසේ පැවසීය, ‘මහජන බැංකුව අප සමඟ ඇතිකරගත් අපගේ මෙම හවුල්කාරිත්වය කොටස් තුළින් වෙළෙඳපොළ ආයෝජන වඩාත් පහසු වනු ඇත’ People’s Pay  හරහා බැංකුකරණය සහ කොටස් වෙළඳාම ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ පුළුල් සහභාගීත්වයක් ඇතිකිරිම අපගේ අරමුණයි.’

මෙම සහයෝගීතාවෙන් ආයතන දෙකටම නව අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මේ තුළින් කොටස් ආයෝජන කටයුතු සහ කොළඹ කොටස් හුවමාරුව වෙත පහසු ප්‍රවේශයක් ලබා දෙන අතර, ඒ ඔස්සේ ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා එම ගනුදෙනු කළමනාකරණය කිරීමට අවස්ථාව සැලසේ.