• IMF වැඩසටහනේ විනය පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණවලට අදාළ මූල්‍ය පීඩන කළමනාකරණය කිරීම ඇතුළු අභියෝග රැසක් 

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය, ආර්ථික පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව Softlogic Stockbrokers පවසයි. 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දක්වමින් එම ආයතනය මේ බව සඳහන් කර සිටියි. 

 “මහ බැංකුව 2026 වසර සඳහා ඉදිරිපත් කළ න්‍යාය පත්‍රය බාහිර, මුදල් සහ මූල්‍ය ස්ථාවරත්වය සඳහා පැහැදිලි ධනාත්මක කරුණු ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රමානුකූලව, වෙළෙඳපොළට අනුගත වූ විනිමය අනුපාත ගැළපීමක් මගින් වැඩිදියුණු කළ සංචිත ස්වාරක්ෂකයක් වෙත සහාය දක්වනවා. එසේම ඒ හරහා අක්‍රමවත් මුදල් චලනයන් ඇතිවීමේ අවදානම අඩු කරනවා. “ 

මේ සඳහා මහ බැංකුව හඳුන්වාදීමට යන දින තුළ පවතින විදේශ විනිමය අනුපාත ක්‍රමය (intra-day FX), මෙන්ම නාමික සඵල විනිමය අනුපාතිකය (NEER) සහ මූර්ත සඵල විනිමය අනුපාතිකය (NEER) යාවත්කාලීන කිරීම වැදගත් අවස්ථාවක් බවත් Softlogic Stockbrokers පෙන්වා දෙයි. 

 “ඒ වගේම ශක්තිමත් කරන ලද ප්‍රති-චක්‍රීය ප්‍රාග්ධන ස්වාරක්ෂක (CCyB - Countercyclical Capital Buffer), D-SIB ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණ සහ තැන්පතු රක්ෂණ වැඩිදියුණු කිරීම් වැනි සැලසුම්ගත පියවර මගින් පද්ධති ඔරොත්තු දීමේ හැකියාව සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළ හැකියි.“ 

කෙසේ වෙතත්, IMF වැඩසටහන් විනය පවත්වා ගැනීම, ප්‍රතිසංස්කරණවලට අදාළ මූල්‍ය පීඩන කළමනාකරණය කිරීම, විනිමය අනුපාත චලනයන්ගෙන් උද්ධමනය පාලනය කිරීම මූලික අභියෝග වනු ඇතැයිද එම ආයතනය පෙන්වා දෙයි. 

 “මේ අතරතුරදීම මූල්‍ය ආයතන හා සැලකීමේදී මහ බැංකුවේ දැඩි නියාමන අවශ්‍යතා ණය වර්ධනයට බාධාවක් නොවීම මෙන්ම දුර්වල මූල්‍ය ආයතන යථා තත්වයට පත්වන අවධියේදී ඒවා වෙත වැඩි පීඩනයක් එල්ල නොකරන බව සහතික කිරීමේදී අභියෝග පවතිනවා.’’ යනුවෙන් Softlogic Stockbrokers වැඩිදුරටත් පවසයි.