- කර්මාන්තය කරගෙන යන්න අලුත් පිරිසක් නැති එක ලොකු ගැටලුවක්
- සමහරු පිළිම ඉල්ලන්නේ තාම පරණ ගණනටයන්තමින් ජීවත් වෙන්න මුදලක් හොයාගන්නවා
- ඉන්න අය රැකගන්නත් වැඩපිළිවෙළක් නෑ
බුල්නෑව - ප්රදීප් රණතුංග
මෙරට විහාරස්ථානවල මෙන්ම ඉන් බැහැරව නගර, කඩවීදි, මංසන්ධි ආශ්රිතව බුද්ධ ප්රතිමා ආදිය නිර්මාණය කර ඉන් ජීවනෝපාය සරිකර ගන්නා පිරිසක් වෙති. එපමණක් නොව විහාර සිතුවම් ඇඳීම, දේව ප්රතිමාව ඉදිකිරීම සහ ඒ හා ආශ්රිත කලා නිර්මාණ කිරීම ආදියෙහි එම ශිල්පීහු නියැලෙති. එහෙත් එවැනි ශිල්පීහු වැඩි දෙනෙක් වත්මනෙහි විවිධ දුෂ්කරතාවලට මැදිව දවස ගෙවති.
මේ අන්දමින් තඹුත්තේගම, මල්වානේගම ගම්මානයේ තරුණ නිර්මාණකරුවෝ විවිධ දුෂ්කරතා මැද මෙම කලා කර්මාන්තයේ යෙදී සිටිති.
මතුව ඇති දුෂ්කරතා පිළිබඳව වසර පහළොවකට වැඩි කාලයක් තිස්සේ මෙම නිර්මාණ කලාවේ යෙදී සිටින ධනුෂ්ක වන්නිනායක පැවසුවේ මෙවැනි අදහස් පෙළකි.
![]() |
![]() |
“ඇත්තටම අපිට මේ කරන වැඩවලින් ආදායමක් තියෙනවා. ඒත් ඉස්සරහට මේ වැඩ කරන්න කෙනෙක් නැතිවෙන එක තමයි තියෙන ලොකුම ප්රශ්නේ. මං ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකොටම මේ වැඩේ ඉගෙනගන්න පටන් ගත්තා. දැන් ඉන්න තරුණ ළමයි ගොඩක් අය කැමති නෑ මේ කර්මාන්තේ කරන්න. මේ වගේ රස්සාවක් ඉගෙන ගත්තට වැඩ නැතිවෙයි කියන බය නිසා සමහරු කැමති නෑ මේවට කාලේ නාස්ති කරන්න. මෙහෙම ගියොත් මේ පිළිමත් ඉස්සරහට රටින් ගෙන්නන්න වෙයි. විහාර කර්මාන්තවලට දායක වෙන ශිල්පියෝ ටික දෙනා රැකගෙන අලුත් පිරිසක් හදාගන්න මොකක් හරි වැඩපිළිවෙළක් තියෙනවා නම් ඒක හරි වටිනවා.”
ග්රාමීයව සිටින මෙම ශිල්පීන් රැකගැනීමට නිසි වැඩපිළිවෙළක් නොවීමෙන් මේ දුර්ලභ කලා හැකියාවෙන් යුතු සමහරකු ඉන් ඈත්ව යෑම වැළැක්විය නොහැකි වී තිබේ.
එහෙයින්ම තරුණ පිරිස මෙම ශිල්පය සඳහා යොමුකර ගැනීම අසීරු වී ඇත. එහෙත් මල්වානේගම වැනි සාම්ප්රදායික ගම්මානයක පාරම්පරිකව මෙම කලා කර්මාන්තය හා යොමුවන කිහිප දෙනකු හෝ සිටීම භාග්යයක් වී තිබේ.
මෙම කර්මාන්තයේ නියුතු යොවුන් කලා ශිල්පිනියක වන රසිකා දමයන්ති සිය ජීවන වෘත්තිය පිළිබඳව මෙසේ කරුණු කීවාය.
“පන්සල්වල චිත්ර, මූර්ති, කැටයම් වගේ හැම නිර්මාණයක්ම අපි කරනවා. දැන් මේක තමයි අපේ රස්සාව. විහාරවල චිත්ර අඳින කට්ටිය දැන් හරි අඩුයි. ඉන්නේ බොහෝම ටික දෙනයි. ඒ ටික දෙනා තමයි පන්සල්වල චිත්ර, මූර්ති, කැටයම් වැඩ කරන්නේ. ඒ ටික දෙනත් නැතිවෙලා ගිය දවසට කවුද මේ වැඩ කරන්නේ කියන ප්රශ්නේ දැනට තියෙන්නේ. දැන් හැමදේම ගණන්. ඒත් සමහරු අපෙන් පිළිම ඉල්ලන්නේ පරණ ගාණට. එහෙම දීලා මේ කර්මාන්තෙ කරන්න බෑ. මේවා ඉවසීමෙන් කාලයක් අරගෙන කරන්න ඕන වැඩ. ඉතින් වියදමයි ගතවෙන කාලයයි බලපුවහම සාධාරණ මුදලක් අය කරන්නෙ නැතිව මේ කර්මාන්තෙ කරන්න බෑ. අවසානේ තියෙන වියදම් එක්ක යන්තමින් ජීවත් වෙන්න මුදලක් හොයාගන්නවා. එච්චරයි.”



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd