කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම තුළ තමන් සතු වූ සියලුම කොටස් අලෙවි කිරීමට ඇම්බියොන් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ඇම්බියොන් කැපිටල් පීඑල්සී පසුගියදා පියවර ගෙන තිබේ.   

ඒ අනුව ඔවුන් සතු වූ කොටස් 18,406,297ක් අලෙවි කර ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 10.22කි. මෙම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම මහනුවර සුප්‍රසිද්ධ ක්වීන්ස් හෝටලයට අමතරව EKHO සහ Heritage යන හෝටල් සන්නාමද අයත් සමාගමයි.   

සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී අනාවරණය කරන ආකාරයට මෙම කොටස් මිලදී ගෙන ඇත්තේ ඩින්ලංකා ලොජිස්ටික්ස් නම් සමාගමකි.  

මීට අමතරව වෙළෙඳපොළ හරහාද එම සමාගම තවත් කොටස් 1,593,703ක් මිලදී ගෙන තිබේ. ඒ අනුව සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී තුළ ඩින්ලංකා ලොජිස්ටික්ස් මිලදී ගත් සමස්ත කොටස් සංඛ්‍යාව 20,000,000කි. එහිදී එක් කොටසක් රුපියල් 30.00 ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 600 කි.  

මෙලෙස ඩින්ලංකා ලොජිස්ටික්ස් පෞද්ගලික සමාගම අත්පත් කරගත් කොටස් ප්‍රමාණය සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 11.11 කි.  මෙම මිලදී ගැනීමත් සමගින්ම සමාගමේ තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවටද ඩින්ලංකා ලොජිස්ටික්ස් පත්ව තිබේ.