ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම ශූරතා කුසලානය ගත් අවස්ථාව

මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් ශූරතාව දිනා ගැනීමට සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම සමත් විය. 
ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව ටී.එන්.ආර්. බලංගොඩ කණ්ඩායමට හිමි විය. 
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් අතර සුහදත්වය, සහයෝගීතාව සහ අන්‍යොන්‍ය සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වූ අතර එම කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් පෙදරේරුවන්ගෙන්, පෑස්සුම් ශිල්පීන්ගෙන් සහ දෘඩාංග වෙළෙඳ ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගෙන් සමන්විත විය. තරගාවලිය සඳහා යශෝධා හාඩ්වෙයාර් බලංගොඩ, ටී.එන්.ආර්. බලංගොඩ, සන්නස්ගම හාඩ්වෙයාර්, සිටි ඉලෙක්ට්‍රික් හාඩ්වෙයාර්, ෆෙස් සෙරමික් හාඩ්වෙයාර්, වික්‍රම හාඩ්වෙයාර්, ඇඹිලිපිටිය ස්ටෝර්ස්, සෙන්ට්‍රල් හාඩ්වෙයාර්, ෆිරූස් හාඩ්වෙයාර්, බලංගොඩ සහ චන්දන හෝල්ඩින් යන කණ්ඩායම් එක් වී සිටියහ.
උණුසුම් තරග රැසකින් අනතුරුව විශිෂ්ට කණ්ඩායම් හැඟීමක්, කැපවීමක් සහ ක්‍රීඩාශීලීත්වයක් ප්‍රදර්ශනය කළ සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික් ශූරතාව හිමි කර ගත්තේය. ඒ අනුව දිස්ත්‍රික් ශූරයන් සහභාගි වන කොළඹදී පැවැත්වීමට නියමිත මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 අවසන් මහා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට එම කණ්ඩායම සමත් විය. මෙල්වා සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන මෙම දීප ව්‍යාප්ත ක්‍රිකට් තරගාවලිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දෙන වෘත්තිකයන් ඇගැයීමට ලක් කිරීමේ මෙන්ම ඔවුන් අතර වෘත්තීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක කොටසකි. දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම තරගාවලිය මගින් විවිධ ප්‍රදේශවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු පිරිස්වලට සිය ක්‍රිකට් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ක්‍රීඩාව ඔස්සේ එකිනෙකා සමග සුහද සබඳතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැලසේ.