ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සියවස් ගණනාවක සිට පැවත එන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනය (OCU) සහ තායිලන්තයේ රාජමංගල තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (RMUTK) විද්‍යා, නවෝත්කරණ හා සංස්කෘතික ආයතනය (ISIC) අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීම පසුගියදා බැංකොක් නුවර ISIC විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ගංගාරාම අධ්‍යාපන කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වන OCU සරසවිය යනු මෙරට දූ දරුවන්ට සාධාරණ හා අඩු මුදලකට ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබාදීමේ උතුම් අරමුණින් නිර්මාණය වූ අධ්‍යාපන ආයතනයකි. මෙම නව සබඳතාවත් සමග, ප්‍රථම උපාධියේ සිට ආචාර්ය උපාධි (PhD) දක්වා වූ ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පාඨමාලා රැසක් හැදෑරීමේ ස්වර්ණමය අවස්ථාව දැන් ශ්‍රී ලාංකික සිසු දරුවන්ට හිමිවේ.

මෙම ගිවිසුමට එළැඹි ISIC විශ්වවිද්‍යාලය යනු තායිලන්ත රජයේ රාජකීය විශ්වවිද්‍යාලයක් වන අතර, තායිලන්තයේ රජතුමා මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. තවද මෙය UGC අනුමත, WES අනුමැතිය හිමි මෙන්ම ජාත්‍යන්තර QS ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛ පෙළේ පසුවන කීර්තිමත් විශ්වවිද්‍යාලයකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිනි සහ UNESCAP හි ස්ථිර නියෝජිත (විශේෂ ආරාධිත දේශනය පවත්වන ලදී.) එච්.ඊ.ඊ.ඒ.එස්. විජයන්ති එදිරිසිංහ, OCU සරසවියේ අධ්‍යක්ෂ, ආණ්ඩුකාර උපදේශක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි, වෙළෙඳ ප්‍රධානී, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශිවන්ති අබේරත්න යන මහත්ම මහත්මීන්ද තායිලන්තය නියෝජනය කරමින් RMUTK-ISIC අධ්‍යක්ෂ සහ නිර්මාතෘ (පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.) 

මහාචාර්ය ආචාර්ය ඕපින් ලියු, අධ්‍යයන හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ආචාර්ය දාරණී පිම්චැංතොං, නියෝජ්‍ය අධ්‍යක්ෂ චට්චායි රක්තින්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇඩා මාරි ජී. මස්කාරිනාස් මහත්මිය, පොදු පාලන පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ නොප්පවාන් නම්තබ්තිම් මෙනෙවිය, ගෝලීය බුදු දහම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය මෙත්තෙයිය බෙලියත්ත ඇතුළු පිරිස සහභාගි වූහ.

මෙම උත්සවයේදී දෙපාර්ශ්වයේම ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්, අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, සමරු තිළිණ හුවමාරු කර ගැනීම මෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් ද පැවැත්විණි.

මෙම ඓතිහාසික ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇතිවන අතර, මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන සහභාගීත්වයක් සඳහා පුළුල් මාවතක් විවර වේ.