කිඹුල් ප්‍රහාරයට ලක්වූ අඟු‍ල


 


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


මාදු ගඟේ ධීවර කර්මාන්තය පැවතියේ අනාදිමත් කාලයක සිටය. මාදු ගඟේ ධීවර කර්මාන්තයෙන් ජීවත්වූවෝ ද එකල හිඟ නොවූහ. මාදු ගඟේ ධීවර කර්මාන්තයෙන් වැඩිමනත්ම ජීවත්වූවේ දූපත්වාසීන්ය. ඒ අතරින් මාදූව, මහලදූව, ගල්මන්දූව, පාතමුල්ල යන දූපත්වාසීන් ප්‍රමුඛය.

ඔවුහු මාදු ගඟේ ධීවර කර්මාන්තයේ ක්‍රම කිහිපයකට යෙදුණාහ. ජාකොටු එයින් එකකි. බිලී පිති කර්මාන්තය තව එකකි. දැල් එලීම තවත් ක්‍රමයකි. මේ හැම ක්‍රමයකින්ම ඔවුහු තමන්ට අවශ්‍ය මත්ස්‍ය සම්පත පමණක් නොව අවට ප්‍රදේශවාසීන්ටද කිසිදු අඩුවක් නොමැතිව නෙළා දුන්හ. අද මාදු ගඟේ ධීවරයන්ට සිය රැකියාව අහිමිවන තැනට වැඩ කටයුතු සම්පාදනය වී ඇත. කනගාටුවට කරුණ නම් මේ පිළිබඳව අදාළ බලධාරීන් මුනිවත රැකීමය.

මේ තත්වය උදාවී ඇත්තේ මිනීමරු කිඹුලන් නිසාය. මේ වනවිට මේ කිඹුල් ප්‍රහාරයෙන් ධීවරයන් කිහිප දෙනෙක්ම බැටකා සිටිති. ඉන් එක් ධීවරයෙක් මරුමුවට පත් වී ඇත්තේය. තවත් කිහිප දෙනෙක් ජීවිතය බේරාගෙන ඇත්තේ අනූ නවයෙනි. මේ එසේ දිවි බේරාගත් මාදු ගඟේ ධීවරයන් කියන කතාය.

එම්.එච්. සම්පත්:- මාදු ගඟ ඒ අවට ජීවත්වූවන්ට ලොකු සම්පතක් වුණා. දූපත්වාසීන් බොහෝමයක්ම ජීවත් වුණේ ගඟේ ධීවර කර්මාන්තයෙන්. කිසිදු කරදරයක් නැතිව ධීවර කර්මාන්තය කරගෙන ගියා. ඒ නිසාම ගඟේ ජාකොටු කර්මාන්තය වගේම බිලී පිති කර්මාන්තය, දැල් කර්මාන්තය හොඳටම කරගෙන ගියා. සිය දහස් ගණනක් ගඟේ රස්සාව කළා. එහෙව් අපිව ජීවත් කරපු මාදු ගඟට අද හෙනහුරා ලබලා. අද ගඟට බහින්න බැහැ කිඹුල් කරදරය නිසා. දැන් දැන් බොහෝ ධීවරයන් මාදු ගඟේ ධීවර කටයුතුවලට යන්නේ නැහැ.

මේ ආකාරයට මාදු ගඟේ ධීවරයන් රැසකටම කිඹුලන් පහරදීලා තියෙනවා. සමහරු තුවාල වෙලා සිය ජීවිත බේරාගෙන තියෙනවා. එසේ ජීවිත බේරාගත් ධීවරයන් මහලදූවේ, පනාපිටියේ, සීනිගොඩ ආදී ප්‍රදේශවල ඉන්නවා. ඒ අය ගඟට එන්න තියා ගඟ දිහාවත් බලන්නේ නැහැ.

වැල්ලගේ ජගත්:- මම දන්න කාලයේ ඉඳලා රස්සාව කළේ මාදු ගඟෙයි. ඒ ධීවරයෙක් විදිහට. එදා කිසිම කරදරයක් නැතිව අපි රස්සාව කළා. මගේ පවුල වගේම අපේ ගම්මානවල පවුල් ජීවත් වුණේ මාදු ගඟේ ධීවර රස්සාවෙන්. අද තත්වය ඊට බොහෝම වෙනස්. මේ කිඹුල් කරදරය නිසා ගඟට යන්න බැහැ. මේ වනවිට මම තුන් පාරක්ම ජීවිතය බේරාගෙනයි ඉන්නේ කිඹුල් ප්‍රහාරයෙන්. ආයෙමත් නම් ධීවර කර්මාන්තය කරන්න මාදු ගඟට යන්නේ නැහැ. අවස්ථා තුනේදීම කිඹුලන්ගෙන් ජීවිතය බේරුණේ දේව හාස්කමෙන් වගේ.

අපි මේ සම්බන්ධයෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මාදු ගඟේ ධීවර කර්මාන්තය පැරණි කර්මාන්තයක්. ගඟේ කිඹුල්ලු‍න් සිටිය යුතු වගේම ධීවර කර්මාන්තයත් තිබිය යුතුයි. මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් කළ යුතු දේ කරනවා.