කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පාලිත ප්‍රියංකර

වතුගෙදර පාලිත ප්‍රියංකර මහතා අද ව්‍යාපාර ලෝකයේ දැවැන්තයකුවී හමාරය. මේ නිසාමදෝ අප රට ව්‍යාපාරික ලෝකයේ ඔහු ගැන නොදන්නා කෙනකු නැති තරම්ය. ඔහු ව්‍යාපාරික ලෝකය ජය ගත්තේ එකිනෙකට වෙනස් දිසා තුනකින් වීම විශේෂත්වයකි. අද ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයකු වුවද පාලිත ප්‍රියංකර මහතා ව්‍යාපාර ලෝකයට පටන් ගත්තේ බිංදුවෙනි. ව්‍යාපාර ලෝකය ජය ගැනීමට සිටින අයට ඔහුගෙන් උගත හැකි පාඩම් බොහෝය. 

අම්බලන්ගොඩ ධර්මා-ශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන පාලිත ප්‍රියංකර මහතා පාසල් අධ්‍යාපනයෙන් පසු යොමුවූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයටය. ඔහු ඒ වෙනුවෙන් වැඩි දුර අධ්‍යාපනය ලබා ගත්තේය. පසුව තමා ඉගෙන ගත් දේ රැකියාවක් ලෙස කිරීමට ඔහු පිටියට බැස්සේය. ඒ ඥාතියකු ළඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ පරීක්ෂකයකු ලෙසය. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ න්‍යාය දැනුම පමණක් ලැබ සිටි ඔහුට එම ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට තෝතැන්නක් වූවේය. එයින් නොනැවතුණු පාලිත මහතා රජයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස ලියාපදිංචිවූයේ රජයේ කොන්ත්‍රාත් ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පනිමින්ය. රජයේ කොන්තාත්කරුවකු ලෙස ඔහු ගත් පළමු උත්සාහයම අති සාර්ථක එකක්ම වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් නොඅඩුව ලැබුණි.

ඒ සමගම ඔහු තවත් නැවුම් වැඩකට අත ගැසුවේය. ඒ අම්බලන්ගොඩ නගර මධ්‍යයේ වර්ණ රසායනාගාරයක් ආරම්භ කිරීමය. ඒ තමන්ගේම ඉඩමක ඉදිකරන ලද සිව් මහල් ගොඩනැගිල්ලකය. මේ වර්ණ රසායනාගාරය ආරම්භ කිරීම පාලිත මහතාට දැවැන්ත අභියෝගයක්වී තිබුණේය. ඒ ඒ වනවිටත් අම්බලන්ගොඩ හා ඒ අවට නමක් ගත් වර්ණ රසායනාගාර නිසාය. එයින් බිද කුදු නොසැලු‍ණු පාලිත මහතා තමාගේ ස්ථාවරයේම සිටියේය. මෙයද තමන්ට කළ හැකි එකක් යයි සිතුවේය. ඒ අනුව නවීන අංගෝපාංග රැසක්ම මේ වර්ණ රසායනාගාරයට හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිළුලයක් ලෙස අද පාලිත මහතාගේ අම්බලන්ගොඩ නගරයේ පිහිටි ඇක්රා වර්ණ රසායනාගාරය අද ගාලු‍ දිසාවේ පමණක් නොව ලංකාවේම ප්‍රසිද්ධ වර්ණ රසායනාගාරයක් බවට පත්වී හමාරය.

එයින් නොනැවතුණු පාලිත මහතා තවත් අලු‍ත් විෂයක් ඔස්සේ ව්‍යාපාරික ලෝකයට ආවේය. එම ක්ෂේත්‍රයට පැමිණි ඔහු එය ජය ගත්තේද අමුතුම ආකාරයෙනි.

කොරෝනා ව්‍යසනය ලෝකය උඩි යටිකුරු කළේය. එහි බලපෑම ලංකාවටත් හොඳින්ම බලපෑවේය. ලෝකයේ මෙන්ම අපේ රටේ ජනතාවටද රැකියා අහිමි විය. ඔවුහු ගෙදරටම කොටුවූහ. මේ දිවි ගෙවීම බොහෝ අයට එපා විය. බොහෝ අය කොරෝනාවෙන් කම්පාවී තමන්ට හැකි අයුරින් පීඩාවට පත්වූ අයට උදව් පදව් කළහ. ඒ වෙනුවෙන් යම් කාර්යක් කළ අයට නොසිතූ ලෙසම සිය ජීවිතය සුවපහසු දිවියක්ම ගෙවීමට සිදුවූ අවස්ථා නැත්තේ ද නොවේ. මේ එවන් මිනිසකු ගැන අපූරු කතාන්දරයකි.

වතුගෙදර පැටිවත්තේ පාලිත ප්‍රියංකරට කොරෝනා ව්‍යසනය මහ ලොකුවටම බල නොපෑවේය. ඒ කොන්ත්‍රාත්වලින් සහ සිය ව්‍යාපාරවලින් හරිහම්බ කරගෙන ඉතුරු කර ගත් දෙයක් ඔහු සන්තකයේ තිබුණේය. එහෙත් කොරෝනා නිසා පාලිත මහතා සිටියේ මහත්වූ සිත් අවුලකිනි. ඒ සිය ගමේ අයට රැකියාවක් නොමැතිව විදින දුක දැකය ඔහු ඔවුන්ට තමන්ට හැකි අයුරින් උදව් පදව් කළේය. මෙය ස්ථීර පිළියමක් නොවන බව ඔහුට වැටහී ගියේය.

පාලිත තමාට හිමි බලපිටිය හීනටියේ මාදු ගඟ අන්තයකට මායිම්වූ ඉඩමට ගියේ මේ අතරය. එහිදී ඔහුගේ සිතට අලු‍ත් අදහසක් ආවේය. තමාගේ හිතට මෙතෙක් කලක් වද දුන් දෙයකට මුළුමනින්ම නොවුණත් යම් මට්ටමකට පිළිතුරක් සැපයිය හැකි යයි පාලිත ප්‍රියංකරයන්ගේ සිතට ආවේය. ඒ මේ තුළින් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ගමේ රැකියා අහිමි අයට යම් සහනයක් ලබාදිය හැකි බවය.

තමා කොරෝනා ඒමට පෙර උපයා සපයා ඉතිරිකරගත් ධනයෙන් කොරෝනා නිසා රැකියා අහිමිව සිටි ගමේ අය වෙනුවෙන් ඔහු නවතම වැඩකට අත ගැසුවේය. මේ ඒ පිළිබඳව පාලිත ප්‍රියංකර කී අයුරුය.

කොරෝනා පැමිණීමත් සමගම අපේ ගම්මානවල කොල්ලන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැතිවුණා. ඒ අයට රැකියා නැතිව විඳින දුක මම දැක්කා. පස්සෙදී මම කල්පනා කළා මේ අය වෙනුවෙන් මම කළ යුත්තේ කුමක්ද කියලා. එහිදී උදව් ඉල්ලගෙන ආ අයට මම පෞද්ගලිකව උදව් කළා.කොරෝනා නිසා අවතැන්වූ පවුල්වල නිවෙස්වලට වියළි ආහාර පාර්සල් රැගෙන ගිහින් දුන්නා. මම කල්පනා කළේ මේ අය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. එහෙම කල්පනා කර කර ඉන්න කොට තමයි මගේ හිතට මේ අලු‍ත් අදහස ආවේ.

මාදු ගඟට හා බලපිටිය හීනටිය ප්‍රධාන පාරට මායිම්ව තියෙන මගේ ඉඩමේ යම් ඉදිකිරීමක් ආරම්භ කළොත් අපේ මිනිස්සුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැති අයට රැකියා දෙන්න පුළුවන් කියා සිතුනා.මාදු ගඟ ළඟ නිසා හෝටලයක් හැදුවොත් හොඳයි කියලා හිතුවා. ඒ සඳහා මම ව්‍යාපාරවලින් එකතු කරගත් මුදලකුත් තිබුණු නිසා ඒ අදහසින් මම එම ඉඩමේ හෝටලයක් ඉදිකිරීමට පටන් ගත්තා. කිසිම සැලසුමක් තිබුණේ නැහැ. බොහෝම පොඩියට හිතේ තිබුණ සැලසුමකට අනුව එහි ඉදි කිරීම් ආරම්භ කළා. එහෙම තමයි වැඩේ පටන් ගත්තේ. කොරෝනා නිසා දුර බැහැර යන්න බැරි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තරුණයන් විශාල සංඛ්‍යාවක් එහි සේවය කළා. සියලු‍දෙනාම වැඩ කළේ හරිම සතුටින්. 

ඇතැම් අය බාධා කළද ඒ කවරකින්වත් ඔහු ඉස්සරහාට තිබූ පය පස්සට නොගත්තේය. වඩාත් ශක්තිමත්ව ඉදිරියටම තැබුවේය. එතැන් සිටවූ සිද්ධිය ඇසිය යුතු වන්නේ පාලිත මහතාගෙන්මය.

බලා ඉන්දෙදීම වගේ වැඩේ නැගලා ගියා. ඊට පස්සේ මට ඕන වුණා සැලසුමකට අනුව මේ හෝටලය හදන්න. මම දන්න තරමටම මාදු ගඟේ සංචාරය සඳහා එන දෙස් විදෙස් සංචාරකයන්ට මාදු ගඟේ සිරි, අසිරිය විඳගන්න ඇවිල්ලා නවාතැන් ගන්න හරිහමන් තැනක් නැති බව. ඒ වගේම අපේ ගම්මාන වල යමක් ඇති අය සිය උත්සව අවශ්‍යතා ඉටුකර ගැනීමට සුව පහසුව සොයා නගරයේ ලොකු ලොකු හෝටල්වලට යන බව මම දැක්කා. මේක නොවිය යුත්තක් කියලා මට සිතුණා.

ඒවගේම මම හදන හෝටලය මාදු ගඟ සංචාරය කිරීමට එන අයට මාදු ගඟේ රසවත් ඉස්සන්, කකුළුවන් විශේෂයෙන්ම බලපිටිය ප්‍රසිද්ධ බල මාළු සමග කෑම වේලක් දීමට සුදුසු ආකාරයට නිර්මාණය කරන්න. ඒ වගේම විදෙස් රටවල සිට සහ මෙරට බොහෝ දුර බැහැර සිට පැමිණෙන අයට මාදු ගඟ නැරඹීමට පෙර දිනත් ඊට පසු දිනත් විවේකයක් ගත කිරීමට හැකි අයුරින් මේ හෝටලය නිර්මාණය කරන්න. ඒ වගේම මාදු ගඟේ සිරි අසිරිය විඳගනිමින් තමන්ගේ මංගල උත්සවය සැමරීමට,උපන්දින උත්සවය ඇතුළු අනෙකුත් උත්සව සැමරීමට එන අයට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහිත හෝටලයක් නිර්මාණය කරන්න. ඒ අරමුණු ඔස්සේ සිව් මහලින් යුත් අංගසම්පූර්ණ හෝටලයක් නිර්මාණය කළා. මම විශ්වාස කරන්නේ මගේ යහපත් චේතනාව මෙයට බලපෑවා කියලා.

මාදු ගඟ රිවර් රීච් හෝටලය නමින් නම් කර ඇති මේ අංග සම්පූර්ණ හෝටලය මෙරට ඉදිවූ ලංකාවේ අනෙක් හෝටල් සමග කරට කර සිටිනුයේ මාදු ගඟේ ගං ඉවුරක් පාදක කර ගනිමින් ඉදිවූ අංග සම්පූර්ණ පළමු හා එකම හෝටලය යයි විරුදාවලි ලබමින්ය. එය ඒ තරමටම නවීන පහසුකම්වලින් සපිරි ඕනෑම අයකුට ඕනෑම වේලාවක් එම හෝටල් පරිශ්‍රයේ හා ඒ අවට විනාඩියකට හෝ කම්මැලිකමක් නැති ආකාරයට නැරඹිය හැකි ආකාරයෙනි.

රටම ලොක් ඩවුන් කර සිටියදී ගමේ කොල්ලන්ට රැකියා ලබාදීමේ චේතනාවෙන් නිර්මාණයවූ මාදු රිවර් රීච් හෝටලය මංගල සැමරුමට තවත් මාසයක් කිහිපයක් ඉදිරියට තිබියදීම දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රකට හෝටලයක්වී හමාරය.

මෙතුවක් කලක් මාදු ගඟ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් ගඟේ සංචාරය සඳහා රැගෙන ගියේ මෝටර් බෝට්ටුවලින්. ඒ එක එක ඉන්ධන භාවිත කරමින්. පරිසරවේදීන් එයට එතරම්ම කැමැත්තක් දැක්වූවේ නැහැ. ඒ එම ඉන්ධන මාදු ගඟට මුසුවෙලා ගංගා ජලය දූෂණය වේයයි කියන බියෙන්. මම ඒ ඔස්සේ කල්පනා කළා. අපිට මෝටර් බෝට්ටු ගඟේ සංචාරය කරන්න තියෙන්නේ දිවා කාලයේ නිසා ඉන්ධන නැති සූර්ය බලයෙන් දුවන මෝටර් බෝට්ටුවක් මාදු නදියට හඳුන්වලා දුන්නොත් හොඳයි කියලා සිතුණා. ඒ අනුව මම තීරණය කළා සූර්ය බලයෙන් දුවන බෝට්ටුවක් මාදු නදියට හඳුන්වාදීම යෝග්‍යයයි කියලා. ඒ අනුව මම මාදු ගඟට එවැනි බෝට්ටුවක් වන පාර්ටි බෝට්ටුවක් හඳුන්වා දුන්නා.මේ හඳුන්වාදීම මාදු ගඟට මුලින්ම කළේ මමයි. මේ බෝට්ටුවේ ධාවනයෙන් කිසිදු ආකාරයකින්වත් ගඟ දූෂණය වන්නේ නැහැ. පාර්ටි බෝට්ටුවේ ගමන් ගන්නා අය ඉවතලන ද්‍රව්‍ය වුණත් ගඟට නොදා වෙනමම භාජන මේ බෝට්ටුව තුළ සවි කරලා තියෙනවා. ඒ නිසා මොනම ආකාරයකින්වත් මේ බෝට්ටුවේ ගඟ සංචාරය කිරීමෙන් මාදු ගඟ දූෂණය වෙන්නේ නැහැ. චූටි කාලයක් ඇතුළත මේ බෝට්ටුවට ආ විශාල ඉල්ලු‍ම නිසාම මම තවත් මීට වඩා විශාල සූර්ය බලයෙන් දුවන බස් රථයක අනුරුවට සමාන පාර්ටි බෝට්ටුවක් මාදු ගඟට හඳුන්වා දුන්නා. එහි ඇති විශේෂත්වය මේ බෝට්ටුව තුළ මාදු ගඟේ ධාවනය වෙමින් තිබියදීම විවාහ මංගල උත්සවයක පෝරු චාරිත්‍රය,උපන්දින සාදයක කේක් කැපීම හා කණ්ඩායමකට කමින් බොමින් ගී ගයමින් විනෝද වෙමින් යාමට අවස්ථාව තිබීමයි.

මේ හෝටලය පිටුපස තියෙන කතාව මේකයි යමෙක් ඉතාම පිරිසුදු සිතින් යම් දෙයක් කරයිද ඒ පිටුපස එන සුභ ප්‍රතිළුලද ඒ තැනැත්තාට සිතූවාටත් වඩා හොඳින් ලැබෙනු නොඅනුමානය යන්නය.