- මට තරගය තියෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක
- ෆයිබර්වලින් බැහැරව ඇලුමිනියම් හා යකඩවලින් සමන්විත යාත්‍රා හදන්නත් බලාපොරොත්තුවක්
- නැව් නිෂ්පාදනය තමයි අපේ ඊළඟ ඉලක්කය
- ලෝකයට ගැළපෙන නිෂ්පාදන කළොත් මේ රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න පුළුවන්
- නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා
බලපිටියේ චලන හෙට්ටියාහන්දි තරුණ ව්‍යවසායකයකු ලෙස දේශීය වෙළෙඳපොළ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳපොළටද තම නිෂ්පාදන ගෙන ගොස් තම උපන් ගමට පමණක් නොව උපන් බිමට නැතිනම් උපන් රටට කීර්තියක් ගෙන ඒමට වෙර දරන දිරිය තරුණයෙකි
බහු දින ධීවර යාත්‍රා ඇතුළු බෝට්ටු නිෂ්පාදනයෙන් දේශීය වෙළෙඳපොළ පමණක් නොව දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම විනෝදාස්වාදය සඳහා අධි සුඛෝපභෝගී යාත්‍රා නිපදවමින් ගල්ෆ් කලාපයේ අබුඩාබි වෙළෙඳපොළ දක්වා ගිය බලපිටියේ 32 හැවිරිදි තරුණ ව්‍යවසායකයකු චලන Made in srilanka මුද්‍රාවෙන් තවත් වසර කීපයක් ගතවන විට නැව් නිෂ්පාදනයටද පිවිස ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගෙන ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් සහ දැක්මකින් යුතුව සිය සැලසුම් එකිනෙක ක්‍රියාවට නගමින් සිටී.
බලපිටිය සිද්ධාර්ථ ජාතික පාසලෙන් පළමු වසර දක්වා ඉගෙනුම ලැබ, බලපිටිය රේවත ජාතික පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබු චලන හෙට්ටියාහන්දි නම් වූ සිසුවාගේ අනාගත බලාපොරොත්තු වූයේ ගුවන් යනා ඉංජිනේරුවකු දක්වා අධ්‍යාපනය හැදෑරීමටය.
චලනගේ පියා වූ සුමිත් හෙට්ටියාහන්දි මහතා 2006 වසරේදී එක් ධීවර යාත්‍රාවක් නිෂ්පාදනය කරමින් රත්ගමදී බහු දින ධීවර යාත්‍රාංගණය ආරම්භ කළේය. ෆයිබර් යොදා ආරම්භ කළ බහු දින ධීවරයාත්‍රා නිපදවීම 2008 වසරේදී බලපිටිය මිගෙට්ටුවත්තට ගෙනාවේ චලන පාසල් ශිෂ්‍යයකුව සිටි අවධියේදීය.
අනතුරක් වෙලා තාත්තාගේ කකුල කැඩුණා. තාත්තා අවුරුදු දෙකක් පමණ එක දිගට ප්‍රතිකාර ගත්තා. මම අධ්‍යාපනය පැත්තකින් තියලා තාත්තගෙ බිස්නස් එක බලන්න පටන් ගත්තා. එතකොට මට වයස අවුරුදු 19ක්. තාත්තට ගෙදර ඉන්න කියලා බිස්නස් එක බාරගත්තා යයි චලන හෙට්ටියාහන්දි කතාබහ ආරම්භ කළේ කළ නොහැක්කක් නොමැත යන වදන යළි සිහිපත් කරමිනි.
ඩුබායි සාජා පිහිටි ඩුබායි එමිරේට්ස් ගල්ෆ් ශාප් බෝට් යාඩ්හි හිමිකරුවාද වන්නේ චලනය. එසේම අහුංගල්ල පොලිසිය පිටුපස පිහිටි කැස්බෑ සංරක්ෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය චලනගෙ නිර්මාණ සංකල්පයකි. මෙය මේ වන විට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට ලක්වී ඇති තැනක් බවට පත්වී හමාරය.
Made in srilanka නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට වෙර දරන ශ්‍රී ලාංකීය තරුණයන්ට අභිමානයක් වූ තරුණ ව්‍යවසායකයකු වන චලන හෙට්ටියහන්දි තමන් ආ මග හා ඉදිරි මග පිළිබඳව සමග කටහඬ අවදි කළේ මෙලෙසිනි.
මගේ පොඩි කාලේ ඉඳලම තිබුණ ආසාව තමයි මගේ තාත්තා බෝට්ටු හැදුවනම් ඇයි අපට බැරි නැව් හදන්න කියන එක. ඇයි අපි මෙතනට විතරක් සීමා වෙලා ඉන්නේ. ලෝකයේ තුනෙන් දෙකක්ම තියෙන්නේ සාගරය. මේ සාගරයට යාත්‍රා හදල අපනයනය කරන්න බැරි ඇයි කියලා
මම අවුරුදු ගාණක් අපනයන සංවර්ධන මණ්ඩලයට ගියා. නොයෙකුත් ප්‍රදර්ශන බැලුවා. හැබැයි මේ කිසිම තැනකින් මට සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. මම නතර වුණේ නැහැ. පස්සේම දැනගත්තා ඩුබායිවලට අවශ්‍ය බව. අපේ දක්ෂතාව පාවිච්චි කරලා ඩුබායි වෙළෙඳපොළට බෝට්ටු හැදුවා. Boat Show එකට ඉදිරිපත් වුණු එදා මම දැනගත්තා මේකට කොච්චර මාකට් එකක් තියෙනවද කියලා. අපිට ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් කියා මාවත පේන්න ගත්තා. ව්‍යාපාර කරන්න හැමෝටම පුළුවන් වුණත් මෙවැනි නිෂ්පාදනයක් කරලා පිටරට යවන එක අභියෝගයක්. ඒ අනුව තමයි මමයි මල්ලියි එකතුවෙලා චලන ක්‍රාෆ්ට් export private limited කියන company එක පටන් ගත්තේ.
මගේ company එකේ නම චලන බෝට් යාඩ්. පසුව අපි ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරගෙන යද්දී කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල්වලට බෝට්ටු අපනයනය කරන්න පුළුවන් මට්ටම අපි හඳුනාගත්තා. ධීවර යාත්‍රා වගේම විනෝදාංශයක් ලෙස කරන ප්‍රෙශර් craft වලට ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හදන නිසා යුරෝපා රටවල ඒවා හදන්න ලොකු පිරිවැයක් යනවා.
හැබැයි අප රටේ දක්ෂ මානව සම්පතකින් අඩු වියදමකින් නිෂ්පාදනය කරන්න පුළුවන් නිසා මාකට් එකට ඇතුල් වෙන්න පුළුවන්. එනිසා ඩුබායි ඉඳන් යාත්‍රා නිපදවනවාට වඩා ලංකාවේ ඉඳලා යාත්‍රා නිපදවනවානම් අප රටේ නව රැකියා අවස්ථා බිහිවෙනවා. ඒක රට වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකු දෙයක්. අපේ ආයතනයේ වැඩ කරල පිටරට රැකියාවකට යනවා නම් skill එක හොඳට හැදෙනවා. ඒ වගේම ලොකු වැටුපකට යන්න පුළුවන්. බලපිටිය යාත්‍රාංගණය තුළ පහසුකම් වැඩි දියුණු කරන්න කටයුතු යොදා තිබෙනවා.
2030 වසර වෙද්දි අපට ලොකු අපනයන ඉලක්කයක් තිබෙනවා. නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. වසරක් යනවිට ලංකාව තුළ නිෂ්පාදනය කරන අඩි 80 දිග යාත්‍රාව සහ ලංකාව තුළ නිපදවෙන වේගවත්ම යාත්‍රාව අශ්වබල 1050 ධාරිතාවෙන් යුතුයි. ඒ වගේම කොළඹ පෝට් සිටි එක ඉලක්ක කරගනිමින් විනෝදාස්වාදය සඳහා ප්‍රෙශර් craft වැනි යාත්‍රා මෙන්ම 2030 වර්ෂය වන විට දැවැන්ත ඉලක්කයකට යන්න බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ අනිත් සමාගම් සමග මගේ තරගයක් නැහැ. ඔවුන්ට සහයෝගය දෙනවා මිසක මොහොතකවත් ඒ අය සමග මම තරගයකට යන්නේ නැහැ. මට තරගය තියෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක. මම හැම වෙලාවකම මගේ ළඟට එන ගනුදෙනුකරුවන්ට ලංකාවෙ අනිත් සමාගම් පිළිබඳ දැනුවත් කිරීම් කරනවා.
බලපිටිය ගුණානන්ද ප්‍රතිමාව ළඟ තියෙන අපේ යාඩ් එකේ හදන්නේ බහු දින ධීවර යාත්‍රා අඩි 46 ඒවා. අප්‍රිකානු කලාපයේ මාකට් එක හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ යාත්‍රා නිෂ්පාදනය අඩුයි. තාක්ෂණය අඩුයි. එනිසා අප්‍රිකානු කලාපයට වගේම ගල්ෆ් කලාපයට විශේෂ අවශ්‍යතාවක් තිබෙනවා. මාලදිවයිනේ අවශ්‍යතාවෙන් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
විදෙස් රටවල් එක්ක ගනුදෙනු කරද්දී ඔවුන් අහන්නේ Yot එකේ ප්‍රමාණය ධාරිතාව කොච්චරද කියල විතරයි. ලෝකයේ ධන කුවේරයෝ පාවිච්චි කරන්නේ යොට් ආදිය නැති නිසා තමයි විශාල මුදලක් වියදම් කරන සංචාරකයන් අපේ රටට එන්නේ නැත්තේ. ඒ නිසයි අපි නව තාක්ෂණයෙන් යුත් බෝට්ටු එහෙම නැත්නම් නැව් නිෂ්පාදනය කරලා විදෙස් වෙළෙඳපොළට හඳුන්වල දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නැවක සියලු අධි සුඛෝපභෝගී පහසුකම් තිබෙනවා. අපි එම පහසුකම් තිබෙන යොට් එකත් දැන් හදාගෙන යනවා. ඩුබායි යාඩ් එක පටන් ගත්තෙ එමිරේට්ස් යාළුවෙක් එක්ක.
මම බලාපොරොත්තු වෙනවා ෆයිබර්වලින් බැහැරව ඇලුමිනියම් හා යකඩ වලින් සමන්විත යාත්‍රා හදන්න. එතකොට මේ මුහුදු තීරයේ යන නැව්වලට අවශ්‍ය කෑම, තෙල් පයිලට් චේන්ජ් කරන්න අවශ්‍ය යාත්‍රා අවුරුදු තුනක් හතරක් යනකොට හදන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට අපේ බලාපොරොත්තුව Chalana Boart Yarad වගේම චලන ශිප් building කියන තැනට යන්න.
නැව් නිෂ්පාදනය තමයි අපේ ඊළඟ ඉලක්කය. දැනට ලංකාවෙ නැව් හදන්නේ doc යාඩ් එකේ විතරයි.
අපි හිතන්න හොඳ නෑ කොයි මොහොතකවත් මේක අපට කරන්න බැහැ කියලා. ලෝකයට ගැළපෙන නිෂ්පාදන කළොත් මේ රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් අපට ගැලවෙන්න පුළුවන්. රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න රටේ සියලුම තරුණ ප්‍රජාව අපනයනය සඳහා පෙළඹවිය යුතුයි. අපනයනය සඳහා පෙළඹෙනවා කියනකොට රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙනවා.
එහෙම නැතුව අරක දියව් මේක දියව් කියා උද්ඝෝෂණ කරන්න කලින් සල්ලි තිබිය යුතුයි. දියව් දියව් කියා ඉල්ලුවාට දෙන්න රටේ සල්ලි නැහැ. අපේ තිබෙන සංචිත ශක්තිමත් කළ යුතුයි. ව්‍යවසායකත්වය මට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි.
අපි හිතන විදිය අනුවයි අපේ අනාගතය තීරණය වන්නේ. නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ. මම රට වෙනුවෙන් මගේ යුතුකම වගකීම ඉටු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd