

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්‍රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයන් 25 දෙනකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සඳහා නැගෙනහිර පළාතේ තෙදින සංචාරයක් සංවිධානය කරන ලදී.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ නැගෙනහිර පළාතේ පවතින සංස්කෘතික, ආර්ථික, ආයෝජන සහ සංචාරක අවස්ථා පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීම මෙන්ම, කලාපීය ආර්ථික සහයෝගීතාව සහ ආයෝජන සඳහා නව අවස්ථා හඳුන්වාදීමය.
එමෙන්ම මෙම සංචාරයේ ප්‍රධාන අංගයක් වූයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 255කින් සමන්විත එරාවූර්පත්තු පිහිටි රෙදිපිළි නිෂ්පාදන කලාපයේ නිරීක්ෂණ චාරිකාවයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් සංවර්ධනය කර ඇති මෙම කලාපය, ආනයනික අමුද්‍රව්‍ය මත රඳාපැවැත්ම අඩු කිරීමට සහ දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට දායක වේ. එමෙන්ම, තිරසාර හා නිෂ්පාදන ක්‍රියාවලියේදී වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රමාණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ද මෙය වැදගත් ආයෝජන අවස්ථාවක් ලෙස සැලකේ.
එරාවූර්පත්තු රෙදිපිළි නිෂ්පාදන කලාපය නැගෙනහිර පළාතේ කාර්මික සංවර්ධනය සහ රැකියා උත්පාදනය සඳහාද වැදගත් දායකත්වයක් සපයයි. ප්‍රාදේශීය මට්ටමින් නව කාර්මික ආයෝජන ඇති කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය ප්‍රදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම සහ දක්ෂතා පදනම් කරගත් රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
කාර්මික සංවර්ධනය සමග පාරිසරික ආරක්ෂාවද තහවුරු කිරීම සඳහා, දූෂණ පාලනය සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි සඳහා අවශ්‍ය පහසුකම් සහ පාලන ක්‍රමවේද මෙම කලාපය තුළ ක්‍රියාත්මක කර ඇත.
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ගේ සංචාරය අතරතුර එරාවූර්පත්තු කාර්මික කලාපයේ පිහිටි ජේ ජේ මිල්ස් (Jay Jay Mills) කර්මාන්තශාලාවද නිරීක්ෂණය කළේය. එහිදී කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාව, නවීන තාක්ෂණය, සැකසුම් හැකියාව සහ තිරසාර නිෂ්පාදන ක්‍රම පිළිබඳව නියෝජිතයන් දැනුවත් කරන ලදී.
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජිත නිලධාරී (Chargé d’Affaires) ඔලිවියර් ෆ්‍රාස් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ප්‍රමුඛ පෙළේ සමාගම් ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකයට සහ උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදනයට සිදුකරන ආයෝජන, ඉදිරියේදී ආයෝජකයන් සඳහා වැදගත් අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය නයාර් නසීර් මහතා, එරාවූර්පත්තු කාර්මික කලාපය නිරීක්ෂණය කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සිය ස්තුතිය පළ කළ අතර, මෙවැනි ඉලක්කගත සංචාර හරහා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට තම රටවල ව්‍යාපාරික ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන සහ සංචාරක අවස්ථා පිළිබඳ තොරතුරු ලබාදීමට හැකි වන බව සඳහන් කළේය.
වියට්නාම තානාපතිනී ට්‍රින් ති ටෑම් මහත්මිය, එරාවූර්පත්තු රෙදිපිළි නිෂ්පාදන කලාපයේ දක්නට ලැබෙන වර්ණ ගැන්වීම සහ මුද්‍රණය ඇතුළු නවීන රෙදිපිළි සැකසුම් හැකියාව පිළිබඳව අදහස් පළ කළ අතර, ශ්‍රී ලංකාවේ කාර්මික කලාප තුළ පවතින පහසුකම් සහ ආයෝජන සඳහා ලබාදෙන සහාය පිළිබඳව වියට්නාම ආයෝජකයන් දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.
ජේ ජේ ටෙක්ස්ටයිල් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී දීපක් කුමාර් මහතා සඳහන් කළේ, තම සමූහය වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයට අයත් විවිධ කලාප තුළ මෙහෙයුම් සිදුකරන බවයි. එරාවූර්පත්තු හි පිහිටි මෙම නවීන සැකසුම් කර්මාන්තශාලාව හරහා දිනකට ටොන් 100ක පමණ නිෂ්පාදන ධාරිතාවක් කරා වර්ධනය වීමේ හැකියාව පවතින බවත්, නවීන ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ සඳහා සිදුකරන ආයෝජන සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබාදෙන බදු සහ තීරුබදු සහන වැදගත් සහායක් වන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd