කොළඹ නෙළුම් කුලු‍නේ  27 වැනි මහලේ පිහිටි ‘බ්ලූ ඔර්බිට්’ කරකැවෙන ආපනශාලාව සහ 25 වැනි මහලේ පිහිටි උත්සව ශාලා 1, 26 වැනි මහලේ පිහිටි උත්සව ශාලා 2 සහ 28 වැනි මහලේ පිහිටි නිවාස ඒකක හයක්  ‍මෙන්ම පහත මහලේ පිහිටි මුළුතැන්ගෙය යනාදී පරිශ්‍රයන්හි කළමනාකාරිත්වය තවත් මාස හයකට සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගම වෙත හිමිව ඇතැයි වාර්තා වෙයි. 

එම සමාගම ඊයේ (09) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ. 2024 වසරේ ඔක්තෝබර් 03 වැනිදා සිට්‍රස් ලෙෂර් පීඑල්සී සහ කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි (පෞද්) සමාගම අතර ඇති කරගත් එකඟතාවට අනුව එම කළමනාකාරීත්වය අදාළ සමාගමට පැවරුණි.  

එම කාලසීමාව 2026 දෙසැම්බර් 11 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර, පසුගිය නොවැම්බර් 02 වැනිදා කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින මෙම කළමනාකරණ එකඟතාව 2027 වසරේ ජූනි 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.