• රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම කිරි ගව ගොවිපොළ සඳහා සම්මානත් දිනලා
  • ඉන්දියාවේ ප්‍රකට අමූල් කිරි නිෂ්පාදන සමාගමෙන් ඉන්දියාවේ කිරි නිෂ්පාදන සහ කිරි ගව පාලනය ගැන හැදෑරීමට සංචාරයක්
  • කිරි ගවයන් දෙදෙනකුගේ කිරිවලින් කළ නිෂ්පාදනය මේ වන විට කිරි ගවයන් 20 දෙනකු දක්වා ඉහළ ගිහින්
  • එදා තනිවම කළ නිෂ්පාදන කටයුතු සඳහා මේ වන විට සේවකයන් අට දෙනෙක්
  • සුපිරි වෙළෙඳසල් ජාලයක්ද මෙම නිෂ්පාදනය ලබා ගැනීමට කැමැත්තෙන්

රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා 

කිරි ගවයන් දෙදෙනකුගේ නැවුම් එළකිරිවලින් කිරි ටොෆි නිෂ්පාදනය සුළුවෙන් ආරම්භ කළ තරුණයකු රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම කිරි ගව ගොවිපොළ සඳහා සම්මානය දිනාගෙන තිබේ.

වසර 15ක සිට කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් කිරි නිෂ්පාදිත කර්මාන්තයක් ලෙස කිරි ටොෆි නිෂ්පාදනය කළ මොහු තම නිෂ්පාදනය ගුණාත්මක ලෙස කිසිදු රසායනික හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මුසු නොකර කිරි ටොෆි නිෂ්පාදනය නිසා සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම ඇගැයුම ලබා දී තිබේ.

පහළ රිදිවිට හිරමඩගම ග්‍රාම නිලධාරී වසමේ පහළ හිරමඩගම ගමේ බන්දුල ප්‍රියන්ත ගලබඩ මහතා මෙම ආදර්ශවත් තරුණ ව්‍යවසායකයායි.

ඔහුට වඩා ව්‍යවසායකත්වයෙන් ඉදිරියට ගිය නිෂ්පාදකයන්ද පරදවමින් ගලබඩ මහතා මෙම සම්මානය දිනූ බව ගොඩකවෙල සත්ව සංවර්ධන උපදේශක ප්‍රසන්න රණසිංහ මහතා ද පැවසීය. සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම සම්මානය ද පිරිනැමූ අතර ඉන්දියාවේ ප්‍රකට අමූල් කිරි නිෂ්පාදන සමාගමෙන් ඉන්දියාවේ කිරි නිෂ්පාදන සහ කිරි ගව පාලනය ගැන හැදෑරීමට සංචාරයක්ද ඔහුට ලැබුණි.

අද වන විට ගලබඩ මහතා නිෂ්පාදනය කරන කිරි ටොෆි වෙළෙඳපොළ ඉල්ලු‍ම අනුව ඔහුට සැපයීමටද නොහැකි වී ඇත්තේ එම නිෂ්පාදනය පාරිභෝගිකයන්ගේ හිත් දිනා අවසන් බැවිනි.

වසර ගණනාවකට පෙර කිරි ගවයන් දෙදෙනකුගේ කිරිවලින් කළ නිෂ්පාදනය මේ වන විට කිරි ගවයන් 20 දෙනකු දක්වා ඉහළ ගොස් එදා තනිවම කළ නිෂ්පාදන කටයුතු සඳහා මේ වන විට සේවකයන් අට දෙනෙකු සඳහා රැකියා ලබාදීමටත් මේ තරුණ දිරිමත් ව්‍යවසායකයා සමත්ව තිබේ.

ඊට අමතරව ප්‍රදේශයේ කිරි ගොවීන් කිහිප දෙනකුගෙන්ද එළකිරි  මිලදී ගනිමින් මොහු එම කුඩා කිරි ගොවීන්ටද ශක්තියක් වී තිබේ.

ගලබඩ මහතාගේ කිරි ගව ගොවිපොළේ කිරි ගවයන් සඳහා තණකොළ වර්ග ඔහුගේ ඉඩමේම වගා කර තිබෙන අතර දෙමුහුන් කිරි ගවයන් ජණනය කරන්නේද පශු වෛද්‍ය උපදෙස් අනුව ගොවිපොළේදීම වීම විශේෂත්වයකි.

මෙරට සුපිරි වෙළෙඳසල් ජාලයක්ද මෙම නිෂ්පාදනය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇතත් එවැනි මට්ටමකින් නිෂ්පාදන කිරීමට කර්මාන්තශාලාවක් සැකසීම සඳහා ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ණය මුදලක් ලබා ගැනීමට ඔහු බලාපොරොත්තු වේ.