

ගෝලීය ආර්ථිකයේ හදවත නවෝත්පාදනය වේ. ආර්ථික හා ව්‍යාපාර වර්ධනය සඳහා ප්‍රධාන බලවේගය වන්නේ ද නවෝත්පාදනයයි. ලෝක ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂ්‍යය වන්නේ ගෝලීය නවෝත්පාදනයයි. නව විද්‍යාත්මක පර්‌යේෂණ හා සොයාගැනීම් මගින් නවෝත්පාදන අංශයක් බිහි වී ඇත.
එසේම ගෝලීය වර්ධනය සඳහා පොදු හා පෞද්ගලික අංශයේ පර්‌යේෂණ හා සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වේ. පර්‌යේෂණ හා සංවර්ධන වියදම් වෙනුවෙන් විශාල ආයෝජනයක් ඇමෙරිකාව, යුරෝපය සහ ආසියාතික රටවල් වන ජපානය, චීනය හා දකුණු කොරියාව විසින් සිදු කරනු ලබයි. ආසියාතික රටවල පිබිදීමට මෙම ආයෝජන හේතු වී ඇත. මෑත කාලයේ දී උතුරු ඇමෙරිකාව හා යුරෝපීය රටවල් අබිබවා ආසියානු කලාපයේ රටවල් පරීක්‍ෂණ හා සංවර්ධන වියදම් දැරීම අතින් ඉදිරියට පැමිණ ඇත. ආසියාතික රටවල් අතරින් චීනය, දකුණු කොරියාව හා ජපානය පර්‌යේෂණ සංවර්ධන වියදම් දැරීම අතින් පෙරමුණ ගෙන ඇත. මෙම ආසියාතික රටවල් තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව සොයාගැනීම් නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළට නව භාණ්ඩ හා සේවා සැපයුම් කර ඇත. විශේෂයෙන්ම චීනයේ අරමුණ වී ඇත්තේ ලෝකයේ ප්‍රධානතම නවෝත්පාදකයා වීමටය. මේ නිසා චීනය ඇතුළු ආසියාතික රටවල් විසින් ප්‍රබල අභියෝගයක් යුරෝපා හා ඇමෙරිකා රටවලට එල්ල කර ඇත.
ආසියානු කලාපයේ රටවල් විසින් විද්‍යාව හා තාක්‍ෂණය අඛණ්ඩව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට උත්සාහ ගනී. මේ හේතු කොටගෙන ආසියාතික රටවල නවෝත්පාදකයන්ගෙන් අනෙකුත් කලාපීය රටවලට කරනු ලබන ආර්ථික බලපෑම ක්‍රමයෙන් වැඩි වී ඇත.
ගෝලීය ආර්ථිකය තුළ නව්‍යකරණය අඛණ්ඩව සිදුවේ. මෙමගින් වැඩි ප්‍රයෝජනයක් අත්පත් කරගෙන ඇත්තේ දියුණු රටවල් විසිනි. වර්තමානයේ දියුණු වෙමින් පවතින රටවල් ද නව්‍යකරණය වීමට උත්සාහ දරයි. මෙයට හේතුව නම් රටක සංවර්ධන ක්‍රියාවලිය සඳහා නව්‍යකරණය අත්‍යාවශ්‍ය වී තිබීමයි.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට නවෝත්පාදන ආර්ථිකයක අවශ්‍යතාව දැඩි වෙමින් පවතී. දේශීය ආර්ථිකය දියුණු කිරීම සඳහා නවෝත්පාදන හා නිර්මාණශීලිත්වය අත්‍යාවශ්‍ය වේ. එසේම නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය සඳහා ද ව්‍යවසායකත්වය වැදගත් සාධකයක් වේ.
ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් ගත් කල නවෝත්පාදනය ඉතා පහළ මට්ටමක පවතී. ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා නවෝත්පාදනයේ සංවර්ධනය වෙනුවෙන් ජාතික නවෝත්පාදන දර්ශකයක් ද නිර්මාණය කර ඇත. ඉදිරි දශකයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සැලසුම් හා ප්‍රතිපත්තිවල අරමුණ වී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමයි. ඒ සඳහා දැනුම මත පදනම් වූ ආර්ථිකයකට පරිවර්තනය වීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මෙරට ආර්ථිකයේ තරගකාරීත්වය සහ වර්ධනය සඳහා නවෝත්පාදනය වැදගත් වේ.
වර්තමාන ශ්‍රී ලංකාව තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා සරල මට්ටමක තාක්‍ෂණයක් භාවිත කරනු ලබයි. මේ තුළින් නිපැයුම්වල තත්වය හා ගුණය ප්‍රාථමික මට්ටමක පවතී. ඒ සමගම නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක් ගැනීමත් නිසා බොහෝ අවස්ථාවල දී නිෂ්පාදිතවල මිල ඉහළ යාමක් දැකිය හැකිය. මෙම තත්වය දේශීය වෙළෙඳාමේදී පමණක් නොව විදේශීය වෙළෙඳාමේ දී ද දකින්නට ලැබේ. ලෝක වෙළෙඳපොළට නිෂ්පාදන සැපයුම් කිරීමේදී ඉල්ලුම අවම වීමට ද මෙය හේතුවක් වී තිබේ. මෙම වාතාවරණයෙන් මිදීම සඳහා මෙරට විද්‍යාව හා තාක්‍ෂණය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. රටේ ජාතික ආදායම කුඩා ප්‍රතිශතයක් පර්‌යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන නිසා නව නිපැයුම් බිහිවීමේ ප්‍රවණතාව අඩු වී ඇත. රටේ නවෝත්පාදනය සංවර්ධනය කිරීම සඳහා පොදු හා පෞද්ගලික සංවිධාන මගින් ව්‍යවසායකත්වය වර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එවිට රටේ ඵලදායීතා අනුපාතය ඉහළ යාමට ද හේතු වනු ඇත. ගෝලීය ආර්ථිකය නිසා මෙරට ව්‍යාපාරික පරිසරය ඉතා ශීීඝ්‍රයෙන් වෙනස් වීමකට භාජන වී ඇත. වේගවත් සන්නිවේදන ක්‍රියාවලිය හේතුවෙන් වෙළෙඳපොළෙහි නව අවස්ථා බිහි වී ඇත. මෙම වෙනස්වීම් හඳුනාගැනීමට හා ඒවාට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට ව්‍යවසායකයා අපොහොසත් වී ඇත.
මෙරට බොහෝ නිෂ්පාදන ප්‍රාදේශීය වෙළෙඳපොළ මුල් කරගෙන භාණ්ඩ නිපදවීමක් සිදු කරයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ කෙරෙහි අවධානය අඩු නිසා අපනයන වෙළෙඳපොළ ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව මගහැරී ඇත. ගෝලීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ ව්‍යුහය ඉතා අවදානම් හා ගැටලු සහගත බව දේශීය නිෂ්පාදකයන්ගේ අදහස වී ඇත. මෙම කරුණ අපනයන වෙළෙඳාම වර්ධනය නොවීමට ද හේතු වේ. මෙරට ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල සිදුවන උපනති නිසා නව ව්‍යාපාරික අවස්ථා බිහිවීම සහ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතුවල පිබිදීමක් දකින්නට ඇත.
විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය තාක්ෂණය වේ. විද්‍යාත්මක පර්‌යේෂණ මගින් සිදු කරන නව සොයාගැනීම් භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා භාවිතයට ගැනීමක් තාක්‍ෂණය නිසා සිදුවී ඇත. තාක්ෂණය භාවිත වීමත් සමගම පාරිභෝගිකයාගේ ජීවන රටාව ද වෙනස් වී ඇති අතර, නිෂ්පාදන කාර්යයන් ද පරිවර්තනය වී ඇත. ව්‍යාපාර කටයුතු සඳහා තාක්ෂණය භාවිතය නිසා ලෝක වෙළෙඳපොළට නව භාණ්ඩ සැපයුම් කර ඇත. එසේම තාක්ෂණික දියුණුව නිසා නිෂ්පාදනවල විවිධ වෙනස්වීම් ඇතිවීමෙන් ගුණාත්මකභාවය වර්ධනය වී පිරිවැය අඩු වී ඇත. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම තාක්ෂණය ව්‍යාප්ත වීම නිසා තාක්ෂණික වෙනස්කම්වල බලපෑම සෑම ක්ෂේත්‍රයකටම බලපා ඇත. එහි භාවිතයන් සෑම ක්ෂේත්‍රයකටම යොදාගෙන තිබීම නිසා ශ්‍රමයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව වැඩි වී ඇත.
වර්තමාන ලෝකයේ ගෝලීය පරිසරය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ගෝලීයකරණ ආර්ථික පරිසරය තුළ අන්තර්ජාතික වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වීමේ දී දේශීය නිපැයුම්කරුවෝ ගෝලීය අලෙවිකරණ පරිසරයේ අභියෝගවලට මුහුණ දීමට අපොහොසත් වෙති. නූතන ආර්ථිකයේ ව්‍යාපාර පරිසරය තුළ ආධිපත්‍යය පතුරුවන ගෝලීයකරණය නිසා ජාත්‍යන්තරයෙන් එල්ල වන තරගකාරීත්වයට මුහුණ දීමට මෙරට නිෂ්පාදකයාට නොහැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.
මෙරට ආර්ථිකය සම්ප්‍රදායික රාමුවකට කොටුවී, ඉන් මිදීමට වෑයම් නොකරන නිසා එක තැන රැඳුන ආර්ථිකයක් බවට පත් වී ඇත. තවම ආර්ථිකය සතු ශක්තීන්, අවස්ථා හා දුර්වලතා, තර්ජන හඳුනාගෙන නොමැත. මේ නිසා නිර්මාණශීලිත්වයට සහ නවෝත්පාදනයට ඉඩ ඇහිරී ඇත. මෙය නවෝත්පාදන ආර්ථිකයක් නිර්මාණය වීමට බාධාවක් වී ඇත. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල නවෝත්පාදන බිහිවීමට විශාල බාධකයක් වී ඇත්තේ මූල්‍ය සම්පත් හා අනෙකුත් සම්පත් සීමිත වීමය. මේ නිසා ආයෝජනය අඩු වී ඇති අතර නිෂ්පාදන කටයුතු ද දුර්වල වී ඇත.
වෙළෙඳපොළ ආර්ථික ක්‍රියාකාරීත්වය යටතේ මෙරට වෙළෙඳපොළේ නවෝත්පාදන කටයුතුවල නිරත වන ව්‍යාපාර සංවිධාන රාශියක් දැකිය හැකිය. මෙම ආයතන අවිනිශ්චිතතා හා අවදානම් හමුවේ විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර පර්‌යේෂණ හා සංවර්ධන කටයුතු කරමින් වෙළෙඳපොළ කොටස අඛණ්ඩව රැක ගැනීමට උත්සාහ ගනී. වෙළෙඳපොළ යන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට නිදහස වඩාත් වැදගත් වන අතර, එමගින් ව්‍යවසායකයන් බිහිවීම නිසා රටේ ආර්ථික වර්ධන කටයුතු වේගවත් වේ. විවෘත ආර්ථිකය හේතුවෙන් ගෝලීය ආයතන මෙරට ව්‍යාප්ත වීමත්, එමගින් තරගකාරීත්වය වර්ධනය වීමෙන් පාරිභෝගිකයන්ට ප්‍රමිතිය හා තත්වයෙන් උසස් භාණ්ඩ අඩු මිල ගණන් යටතේ ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබේ. මේ තුළින් දේශීය වෙළෙඳපොළ ජාත්‍යන්තරයට විවෘත වීමෙන් විදේශීය භාණ්ඩ පරිභෝජනයට අවස්ථාවක් උදා වේ. එසේම දේශීය ව්‍යාපාර ආයතන විදේශීය ආයතනවල තාක්‍ෂණය සහ කළමනාකරණය තම නිෂ්පාදන කටයුතුවලට භාවිතයට ගැනීමෙන් නව සංවර්ධනයක් කරා යෑමට යොමු වේ.
ශ්‍රී ලංකා ආර්ථිකය තුළ නවෝත්පාදනය සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාරික පන්තිය තුළ තිබෙන දැනුම අල්පය. ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ අත්දැකීම් අවම නිසා නව භාණ්ඩ හා සේවා නිපැයුම් සඳහා යොමුවීමට දක්වන කැමැත්ත පහළ මට්ටමක පවතී. මෙරට වෙළෙඳපොළ කුඩා නිසාත්, නොදියුණු ආර්ථිකයක් හේතුවෙන්, සම්ප්‍රදායික රාමුවක සිට තීරණ ගන්නා පාරිභෝගිකයන් සිටින නිසා ඔවුන්ගේ චර්යාව පිළිබඳ අධ්‍යයනය කිරීම පහසු නොවේ. විශේෂයෙන්ම සාමාජීය හා සංස්කෘතික සාධකවලට නතුවීම නිසා භාණ්ඩ හා සේවා පරිභෝජනයේ දී අනම්‍ය වේ.
නවෝත්පාදනය හේතුවෙන් මෙරට පාරිභෝගික හැසිරීමේ ස්වභාවය වෙනස් වීමකට භාජන වී ඇත. නව භාණ්ඩ වෙළෙඳපොළ තුළ සුලබ වීම නිසා අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට ඉල්ලුම් කිරීමට යොමු වී ඇත. ඒ තුළින් අධික මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් හා තත්වයෙන් හීන නිෂ්පාදිත පාරිභෝජනයට යොමුවීමෙන් අතෘප්තිකර තත්වයක් උදා වී ඇත. දේශීය නිෂ්පාදනවලට වඩා විදේශීය නිෂ්පාදනවලට නැඹුරු වීමෙන් ගැනුම්කරුවන් මුළා වී ඇති අතර, එමගින් මෙරට ජාතික ධනය ජාත්‍යන්තර රටවලට ඇදී යාමක් ද දැකිය හැකිය. දේශීය නිෂ්පාදනවලට වඩා විදේශීය නිෂ්පාදනවලට ලොල් වීමෙන් අධි පරිභෝජනවාදයට හසු වී අතෘප්තිකර උවමනා සපුරා ගැනීමට ශ්‍රී ලාංකිකයන් පෙළඹී ඇත. මෙයින් සිදු වී ඇත්තේ මෙරට වෙළෙඳපොළ ක්‍රමය ගෝලීය ධනවාදය විසින් මෙහෙයවනු ලැබීමයි.
සමහර අවස්ථාවල දී තොරතුරු සන්නිවේදනයට බාධා ඇතිවීමෙන් නවෝත්පාදන ක්‍රියාවලිය අඩාළ වූ සිදුවීම් මෙරට ආර්ථිකය තුළ දකින්නට ලැබුණි. නව නිපැයුම් බිහි නොවීම නිසා නවෝත්පාදනය වර්ධනය නොවේ. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට නව තාක්‍ෂණයේ ප්‍රවර්ධනය ඉතා වැදගත්ය. දුර්වල ව්‍යාපාර ආකෘති භාවිතය, අධ්‍යාපන ක්‍රමයට නවෝත්පාදන දැනුම ඇතුළත් වීම බාධාවක් වීම, මානව සම්පත්වල හැකියාව අඩු මට්ටමක පැවතීම නිසා නවෝත්පාදන ආර්ථිකයක් කරා ගමන් කිරීම අපහසු වී ඇත. දේශීය සම්පත් සීමිත වීමත්, පර්‌යේෂණ හා සංවර්ධන පරිසරයක් නිර්මාණය නොවීමත්, කිසියම් පර්‌යේෂණයක් නිර්මාණය කර තිබේ නම් එය ප්‍රායෝගික ලෙස භාවිතයට ගැනීම අපහසු වීම නිසාත්, නවෝත්පාදන ක්‍රියාවලිය බිඳ වැටී ඇත. මෙරට තුළ යල්පැනගිය තාක්ෂණය, පරණ ක්‍රමයට සිතීම, දුර්වල තාක්ෂණික කළමනාකරණය, පැරණි නිෂ්පාදන ක්‍රමවේද භාවිතය නිසා නව නිර්මාණ බිහිවීමට ඉඩකඩ ඇහිරී ඇත.
එසේම මෙරට ව්‍යාපාර ආයතනවල දියුණු තාක්ෂණ ශිල්පීය උපක්‍රම භාවිත නොකිරීම, මෙරට අධ්‍යාපන ව්‍යුහය නිෂ්පාදන ක්‍රියාවලිය හා බද්ධ නොවීම, වෙළෙඳපොළ තරගකාරීත්වය දුර්වල වීම නිසා නවෝත්පාදන කටයුතු අඩාල වී ඇත. අප රට තුළ නවෝත්පාදනය වර්ධනය කිරීම සඳහා පොදු හා පෞද්ගලික අංශයේ කාර්යභාරය විය යුත්තේ ගෝලීය ආර්ථික හා ව්‍යාපාර පරිසරයට සුදුසු වන පරිදි නවෝත්පාදකයන් බිහි කිරීමය. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට නවෝත්පාදන ආර්ථිකයක අවශ්‍යතාව දැඩි වෙමින් පවතී. දේශීය ආර්ථිකය දියුණු කිරීම සඳහා නවෝත්පාදන හා නිර්මාණශීලිත්වය අත්‍යාවශ්‍ය වේ. එසේම නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය සඳහා ද ව්‍යවසායකත්වය වැදගත් සාධකයක් වේ. මෙම වාතාවරණය හඳුනා ගැනීම දේශීය නවෝත්පාදකයන්ගේ කාර්යභාරය වේ. මෙමගින් නවෝත්පාදන ආර්ථිකයක් බිහිවීම වේගවත් වනු ඇත. එවිට ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව ඉදිරි දශකයේ දී ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කළ හැකි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd