ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 


නැගෙනහිර පළාතේ ධීවර කාර්මිකයන්ගේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදනවලින් වෙන් කරන ලද රුපියල් මිලියන 1134 ක් වැය කර සංවර්ධනය කටයුතු සිදුවෙමින් පවතින වාලච්චේන ධීවර වරාය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පෙරේදා (29) නිරීක්ෂණ එහි චාරිකාවකට එක්විය.

මෙම නිරීක්ෂණයේදී වරාය ජැටි ප්‍රවේශ මාර්ගය දීර්ඝ කිරීම, ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සහ ඊට සමගාමීව සිදුකෙරෙන සෙසු ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සොයා බලන ලදී.

ධීවර කර්මාන්තයේදී ජනතාව මුහුණ දෙන ගැටලු‍ විසඳීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි, කළමනාකාර (වරාය මෙහෙයුම්) පී.එම්. අජිත් නිරෝෂන්, ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එල්.අයි. රාමනායක, වාලච්චේන ධීවර වරායේ කළමනාකාර ජී. විජිදරන් මහත්වරු ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ධීවර නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.