• අපනයන විවිධාංගීකරණය සහ රාජ්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා ප්‍රමුඛතාව දිය යුතුයි

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික ආයෝජන වැඩි කිරීම සහ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවාලීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එම ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය 2026, තිරසර වර්ධනය සඳහා ප්‍රතිපත්තිමය තේරීම් නමැති වාර්තාවට අනුව 2024 සහ 2025 වසර දෙකේදීම මෙරට ආර්ථිකය සියයට 5 බැගින් වර්ධනය වී ඇති අතර 2026 වසරේ පළමු මාස හයේදී සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇත.

ණය ලබාගෙන සිදුකරන රාජ්‍ය වියදම්, බදු සහන සහ ආනයන මත දැඩි ලෙස රඳා පවතින පරිභෝජනය තවදුරටත් ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධක ලෙස යොදාගත නොහැකි බවද එහි සඳහන් වේ. රජයට වියදම් කිරීමට සහ විදේශ ගෙවීම් සඳහා පවතින සීමිත හැකියාව සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීම අවශ්‍ය බව එම වාර්ථාව කියයි. 

අපනයන ක්ෂේත්‍රයේ තරගකාරිත්වය වර්ධනය කිරීම, අපනයන විවිධාංගීකරණය සහ රාජ්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය අවධාරණය කරයි.

මෙරට සේවකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ අවිධිමත් රැකියා ක්ෂේත්‍රයේ නිරතව සිටින බැවින් වඩාත් සුරක්ෂිත සහ ගුණාත්මක රැකියා අවස්ථා ඇති කිරීම, ශ්‍රම වෙළෙඳපොළේ කුසලතා හිඟය අවම කිරීම සහ අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද වාර්තාව පෙන්වා දෙයි. 

මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපනය සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමෙන් ආර්ථික ඵලදායිතාව ඉහළ නැංවිය හැකි බව එහි සඳහන් වේ.