කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


දකුණු හා ඌව දෙපළාතේ සංචාරක දැනුම සහ සංචාරක ව්‍යාපාර අත්දැකීම්  හුවමාරු කරගැනීමේ දෙදින වැඩසටහනක් දකුණු පළාතේ ගාලු‍ දිසාවේ පිහිටි රුහුණු සංචාරක කාර්යාංශයේදී පැවැත්විණ.

මේ සංචාරක දැනුම හා අත්දැකීම් හුවමාරු දෙදින වැඩසටහන ක්‍රියාත්මකවූයේ රුහුණු සංචාරක කාර්යාංශයේ නිලධාරීන් සහ ඌව පළාතේ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතරය.

දකුණේ සංචාරක ව්‍යාපාර දැනුම සහ අත්දැකීම් ඌව පළාතට ලබාදීමට රුහුණු සංචාරක කාර්යාංශය දකුණේ සංචාරක ව්‍යාපාරයට නමක් ගත් ස්ථානවලට ගොස් ලබාදීම මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනිණි. ඌව පළාතේ සංචාරක අනාගතය විධිමත් කරමින් ක්‍රියාත්මක කිරීම සදහා මේ නවමු සංචාරක දැනුම හුවමාරු වැඩසටහන සිය ආයතනයෙන් සංවිධානය කළ බව රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා පැවසීය.

දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත්ව හා ප්‍රගතිශීලීව ඉදිරියට ගෙන යාමට හැකි උපරිමයෙන් දායක වෙමින් විධිමත්ව කටයුතු පවත්වාගෙන යන රුහුණු සංචාරක කාර්යාංශයේ වටිනා අත්දැකීම් හා ක්‍රියාකාරීත්වය ඌව පළාතේ නව යෝජිත සංචාරක අධිකාරිය සකීය  කර ගැනීම සඳහා මේ සංචාරක හුවමාරු දෙදින වැඩසටහන විශේෂයෙන්ම ඌව පළාතට වැදගත්වූ බවද ගොඩකන්ද මහතා කීවේය.

මේ අවස්ථාවට සහභාගීවූ ඌව පළාත නියෝජනය කරමින් පැමිණි පිරිසට මේ දෙදින වැඩසටහනේදී රුහුණු සංචාරක කාර්යාංශය ළඟා කර ගත් ප්‍රගතිය, ව්‍යාපෘති සහ ක්‍රියාකාරී ආකෘතිය එම කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා විසින් පැහැදිලි කර දෙන ලදි.

දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර  මහතා විසින් රුහුණු සංචාරක කාර්යාංශයේ විකාශනය හා ප්‍රඥපත්තිය පිළිබදව මෙන්ම සමගාමි ලයිස්තුවේ විෂයක් ලෙස පළාත් සභාව සංචාරක විෂයට ලබා දිය යුතු අවධානය, පවතින අභියෝග හා සිදුවිය යුතු දෑ පිළිබදවද විස්තරාත්මකව ඌවේ අයට කියා දුන්නේය. 

මෙහිදි අදහස් දක්වමින් කාර්යාංශයෙ වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රතිපාදන යොදවමින් කරමින් ඇති හා යෝජිත ව්‍යාපෘති පිළිබදව හා ව්‍යාපෘති යෝජනා ලබා ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික තත්වය පැහැදිලි කළාය.

දෙවැනි දිනයේදී රුහුණු කාර්යාංශය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති හා ආයතන සෘජුව අත්දකිමින් නිරීක්ෂණ චාරිකාවක නිරත විමට ද ඌවේ සංචාරක නියෝජිතයන්ට අවස්ථාව උදාකර දී තිබිණ. ඉදිරියේදී දෙපළාතටම එන සංචාරකයන් හුවමාරුකර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.