කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


දකුණේ ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරක කර්මාන්තයේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත් කිරීමේ Clean Sri Lanka – TukTuk Training වැඩසටහනේ එක් වැඩමුළුවක් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

රුහුණු සංචාරක කාර්යාංශය හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එක්ව මේ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. බෙන්තොට පැවති මේ වැඩසටහනට සක්‍රීයව දායක වූ ත්‍රිරෝද රථ රියැදුරන්ට සහතික පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ. මේ අවස්ථාවට රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මේ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා මෙසේ කීවේය. “සංචාරකයන් සමග දෛනිකව ඍජුවම සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ත්‍රිරෝද රථ රියැදුරන් අප හඳුනාගෙන තියෙනවා. එහෙයින් ඔවුන් සංචාරක කර්මාන්තයේ වැදගත් භූමිකාවක් ඉටු කරන පිරිසක්. එහෙත් ඔවුන් වෙනුවෙන් මින් පෙර ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම කනගාටුවට කරුණක්.

එබැවින් සහභාගීත්ව සංචාරක ආර්ථිකයක් කරා පියවර තැබීමේ අරමුණින් මේ වනවිට විවිධ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ සියලු‍ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දත්ත එක් ස්ථානයකට ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ඔවුන්ට නිශ්චිත අනන්‍යතාවක් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තියෙනවා.

මෙය හුදෙක් පුහුණු වැඩසටහනක් පමණක් නොව සංචාරකයන්ගේ විශ්වාසය දිනාගත් වෘත්තීයමය හා වගකීම් සහගත ත්‍රිරෝද රථ සේවයක් බිහිකරමින් ලංකාවේ සංචාරක ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතරට ගෙන යාම සඳහා තබන වැදගත් පියවරක්” බව ද ගොඩකන්ද මහතා අවධාරණය කළේය. 

මේ අවස්ථාවට Clean Sri Lanka බෙන්තොට කැඳවුම්කරු ප්‍රදීප් කොඩිතුවක්කු, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරීන්, දකුණු පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.