තම නැගෙනහිර-බටහිර නළ මාර්ගයට (East-West Pipeline) සිදු වූ හානියක් හේතුවෙන් සෞදි අරාබිය තෙල් අපනයනය නතර කර ඇත. මෙය පිළිසකර කිරීමට මාසයකට වඩා වැඩි කාලයක් ගත වනු ඇත. බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ (Bab el-Mandeb Strait) පාලනය පවතින්නේ ඉරාන හිතවාදී යේමන බලවේග අතය. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා යාත්‍රා කිරීමට උත්සාහ කරන නැව්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන්, එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් පළමු සතිය දක්වා හෝ ලෝක තෙල් සැපයුම, විශේෂයෙන්ම ආසියානු කලාපය සඳහා වන තෙල් සැපයුම තවදුරටත් සීමා වනු ඇත. එමෙන්ම තෙල් මිල ද ඉහළ මට්ටමක පවතිනු ඇත.

මෙම සමුද්‍ර සන්ධි දෙක හරහා එන තෙල් වැඩි වශයෙන් රැගෙන යන්නේ වේගයෙන් වර්ධනය වන, බලශක්තිය සඳහා දැඩි ඉල්ලු‍මක් ඇති ආසියානු රටවලටය. ඒ අනුව, යුරෝපයට හෝ එක්සත් ජනපදයට වඩා මෙම තත්වය ආසියාවට තදින්ම බලපානු ඇත. මේ වන විටත් එක්සත් ජනපදයේ ඩීසල් මිල පෙර කිසිදාක නො වූ අයුරින් ඉහළ ගොස් ඇත. ගල්ෆ් කලාපයෙන් ගෙන එන බොරතෙල් ඩීසල් නිෂ්පාදනය සඳහා ප්‍රශස්ත යැයි සැලකෙන බැවින්, මෙම අර්බුදය ඩීසල් සැපයුමටත් ආසියානු කලාපයටත් වඩාත් තදින් බලපෑම් කරනු ඇත.

ඩීසල් අතිශයින් වැදගත් වීමට කරුණු කිහිපයක් බලපායි. බොහෝ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කරන්නේ ඩීසල්වලිනි. එමෙන්ම, ජල විදුලිය සහ ගල් අඟු‍රු වැනි අඩු මිල බලශක්ති ප්‍රභව ප්‍රමාණවත් නො වන අවස්ථාවල දී විදුලිය නිපදවීම සඳහා ද ඩීසල් භාවිත කෙරේ. එබැවින් ඩීසල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම දැඩි ලෙස බලපායි. තව ද, ඩීසල් ලබා ගැනීමේ දුෂ්කරතා මතු වුවහොත් එය සමස්ත සමාජයේම දෛනික ක්‍රියාකාරිත්වය අඩාළ කිරීමට ද හේතු විය හැක.

මේ වන විටත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නෝ මෙම පීඩනයට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. ඔවුන් පවසන්නේ එක් ඩීසල් ලීටරයකින් රුපියල් 170ක පාඩුවක් ලබමින් තමන්ට තවදුරටත් එය අලෙවි කළ නො හැකි බවයි. කෙසේ වෙතත්, පාඩු දරා ගනිමින් හෝ ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට සැලසුම් කරන බව රජය සතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ප්‍රකාශ කර තිබේ. එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් අඩු උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට, මෙය2022 වසරේ පැවති ඉන්ධන අර්බුදය මතකයට නගනු නොඅනුමානය. 

 පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීම

පස්වැනි සහ හයවැනි සමාලෝචන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ වාර්තාවේ (2026 මැයි 13) පහත දැක්වෙන පරිදි ප්‍රකාශ කර ඇත: “ඉන්ධන: මැදපෙරදිග ගැටුම්වලින් පසු ඉහළ ගිය පිරිවැය අර්ධ වශයෙන් පමණක් මිලෙහි පිළිබිඹු වූ බැවින්, පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීමේ ඉලක්කය (නිරන්තර ව්‍යුහාත්මක මිනුම් ලකුණ - 1) අප්‍රේල් මාසයේ සිට සපුරාගෙන නොමැත. බලධාරීන් අයවැයෙන් මුදල් ලබාදීම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු පියවීමට කටයුතු කරනු ඇත. එසේම, ඉන්ධන සහනාධාර අයවැයට ඇතුළත් කර ඇති බවටත්, ඒවා සීමිත බවටත්, 2026 සැප්තැම්බර් අග වන විට එම සහනාධාර සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවටත් සහතික කරමින් කැබිනට් තීරණයක් ප්‍රකාශයට පත් කර ඇත (පූර්ව ක්‍රියාව සහ යෝජිත ව්‍යුහාත්මක මිනුම් ලකුණ 22, සැප්තැම්බර් අග).”‍

පෞද්ගලික බෙදාහරින්නන් ඉන්ධන සැපයීම සීමා කිරීමෙන් පැහැදිලි වන්නේ, පිරිවැය පියවා ගැනීමට වර්තමාන සිල්ලර මිල ප්‍රමාණවත් නො වන බවයි. රජය මින් ඉදිරියට තවත් සහන ලබා දීමට කටයුතු නො කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ සැප්තැම්බර් අග වන විට ඉන්ධන සහනාධාර අවසන් විය යුතු බවයි. එහෙත්, පෙට්‍රල් සඳහා වැඩි මිලක් අය කර, ඉන් ලැබෙන ලාබයෙන් ඩීසල්වලින් සිදු වන පාඩුව පියවා ගැනීමට (හරස් සහනාධාර දීමට) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කරනවා විය හැක. වේගයෙන් ඉහළ යන මිල ගණන් සහ ඉන්ධන සැපයුම සීමා වීමේ අවදානමක් පවතින මොහොතක මෙය කොතරම් දුරට තාර්කික ද යන ප්‍රශ්නය මතු වේ.

QR කේතය මගින් ක්‍රියාත්මක කළ ඉන්ධන ලබා දීමේ සලාක ක්‍රමය මේ වන විට මහා පරිමාණයෙන් මගහැර ඇති බව පැහැදිලි කරුණකි. කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි, ඉන්ධන ඉල්ලු‍මේ අඩු වීමක් (ඩීසල් සඳහා සියයට 10ක සහ පෙට්‍රල් සඳහා සියයට 9ක) දක්නට ලැබුණ ද, ඊට හේතු වී ඇත්තේ සලාක ක්‍රමය නො ව ඉන්ධන මිල ඉහළ යාම ය. මිල වැඩි කිරීමෙන් ඉල්ලු‍ම අඩු කිරීමට හෝ QR සලාක ක්‍රමය වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පියවර නො ගන්නේ නම්, 2026 වසරේ ඉන්ධන ආනයන වියදම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. 2025 වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන ආනයනය සඳහා වැය කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1,664.2ක් වුවත්, මෙම වසරේ මුල් මාස පහ තුළ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,703.7ක විශාල මුදලක් වැය කර තිබේ. මෙය සියයට 62ක දැවැන්ත වැඩි වීමකි. එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත දැමීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍යතාවක් පවතී. එහෙත්, ඔහුට එය සාර්ථකව කළ හැකි ද යන්න සැක සහිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාව (2026 මැයි 13) තවදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය. “විදුලිය: විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇතත් විදුලි ගාස්තු ඒ අනුව නැවත සමාලෝචනය කර නොමැත. එබැවින් පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීමේ ඉලක්කය (නිරන්තර ව්‍යුහාත්මක මිනුම් ලකුණ - 2) ජනවාරි මාසයේ සිට සපුරාගෙන නොමැත. දෙවැනි කාර්තුව සඳහා මාර්තු 31 වැනි දින අනුමත කරන ලද සියයට 10.9ක සාමාන්‍ය ගාස්තු වැඩිවීම තුළ, ඉහළ ගිය ඉන්ධන මිල සහ බලශක්ති උත්පාදන ක්‍රමවල අපේක්ෂිත වෙනස සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැත. පිරිවැය ආවරණය කර ගැනීම යථා තත්වයට පත් කිරීම සඳහා, මෙම සාධක සියල්ල සැලකිල්ලට ගනිමින් නියාමකයා විසින් නව ගාස්තු සංශෝධනයක් නිකුත් කරනු ඇත (පූර්ව ක්‍රියාව).”‍

ගුණාත්මයෙන් අඩු ගල් අඟු‍රු භාවිත කිරීම හේතුවෙන් මේ වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් ජනනය වන විදුලි ප්‍රමාණය අඩු වී තිබේ. මෙම විදුලි හිඟය පියවා ගැනීම සඳහා දිනෙන් දින මිල ඉහළ යන ඩීසල් භාවිත කිරීමට සිදුවීම නිසා විදුලිය නිෂ්පාදන පිරිවැය තවත් ඉහළ යනු ඇත. එබැවින්, ඩීසල් සඳහා පිරිවැය ආවරණය වන පරිදි මිලක් නියම කළ විට, එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට තම විදුලි බිල සඳහා ද වැඩි මුදලක් ගෙවීමට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

 මිල සූත්‍රයෙහි ඇති ගැටලු‍

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මිල සූත්‍රය හඳුන්වා දුන් අවස්ථාවේ දී එය බොහෝ දෙනාගේ සමච්චලයට ලක් විය. එහෙත් අද වන විට මිල සූත්‍රය සියලු‍ම ගැටලු‍වලට ඇති විසඳුම ලෙස සැලකීමට පටන් ගෙන තිබේ. පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් ඩීසල් සඳහා මිල සූත්‍රයක් ඉල්ලා සිටින අතර, ත්‍රීරෝද රථ රියදුරන්ට පවා දැන් මිල සූත්‍රයක් අවශ්‍ය වී ඇත.

තරගකාරී වෙළෙඳපොළක් තුළ රජය විසින් පනවනු ලබන මෙවැනි මිල සූත්‍ර භාවිත කිරීම සාමාන්‍ය තත්වයක් නොවේ. මෙවැනි වෙළෙඳපොළක් තුළ තරගකාරිත්වය හරහා සැබවින්ම සිදු විය යුත්තේ කුමක් ද? අවම පිරිවැයක් යටතේ භාණ්ඩ ලබා ගැනීමත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් හරහා මිල ගණන් පහත හෙළීමයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ විදුලිය වෙළෙඳපොළවල් කිසිසේත්ම තරගකාරී නැත. මෙහි දී සිදුවන්නේ වෙනත් විකල්පයක් නොමැති පාරිභෝගිකයාව සූරාකෑමට අවස්ථාව සැලසීමයි. එම සූරාකෑම රජයේ ආශිර්වාදය ද සහිතව සිදු කළ හැකි නම් එය ඔවුන්ට තවත් පහසු කටයුත්තක් වනු ඇත.

යම් කර්මාන්තයක පිරිවැය සාධාරණ දැයි තක්සේරු කිරීමට නියාමකයකුට ශක්‍යතාවක් තිබේ නම්, එම නියාමනය කරන ලද කර්මාන්තය තුළ පිරිවැය මත පදනම් වූ මිල සූත්‍ර භාවිත කිරීම ගැටලු‍වක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ විදුලි සහ ඉන්ධන යන අංශ දෙකෙහිම පවතින ගැටලු‍වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ, කිසිදු නියාමනයක් නොමැති ඉන්ධන වෙළෙඳපොළක් තුළ ‘පිරිවැය සහ ඊට එකතු කරන ලාබය‘ (cost-plus) මත පදනම් වූ මිල සූත්‍රයක් භාවිත කිරීමයි. මෙහි දී තෙල් ආනයනය කිරීමේදී කුමන අධික පිරිවැයක් දැරීමට සිදු වුවත්, එම මුදල ප්‍රවාහනය සඳහා ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයා මත මෙන්ම ජනතාවගේ විදුලි බිල්පත් මත ස්වයංක්‍රීයවම පැටවේ. එබැවින්, තෙල් මිල දී ගැනීමේදී තදින් කේවල් කර අවම මිලක් ලබා ගැනීමට තෙල් ගැනුම්කරුවන්ට (ආනයනකරුවන්ට) කිසිදු උනන්දුවක් හෝ අවශ්‍යතාවක් ඇති නොවේ. අවසානයේදී තෙල් ආනයනය සඳහා ගෙවූ මිල ගණන් සාධාරණ ද යන්න ප්‍රශ්න කිරීමට මාධ්‍ය ආයතන හැර වෙනත් කිසිවකුත් ඉතිරි වන්නේ නැත.

මේ සඳහා ඇති පිළිගත් ජාත්‍යන්තර විසඳුම වන්නේ, බ්‍රෙන්ට් (Brent) හෝ සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) වැනි ජාත්‍යන්තරව පිළිගත් මිනුම් ලකුණු (benchmark) මිලක් මත පදනම්ව මිල සූත්‍රය සකස් කිරීමයි. එවැනි ක්‍රමයක් යටතේ, යම් ගැනුම්කරුවකු තදින් කේවල්නොකර වෙළෙඳපොළ මිලට වඩා ඉහළ මිලකට ඉන්ධන ගෙන ආවොත්, එම අමතර පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට මිල සූත්‍රයෙන් ඉඩ නො ලැබේ. එයින් සමාගමටම පාඩුව දැරීමට සිදුවේ. අනෙක් අතට, ඔවුන්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමට හැකි වුවහොත්, එම ලාබය සමාගමට තබා ගත හැකිය. මෙම ක්‍රමය හරහා අවම පිරිවැයකින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ආනයනකරුවන්ට හොඳ දිරිගැන්වීමක් ලැබේ.

මෙම විසඳුම පෞද්ගලික ආයතනවලට ඵලදායී වුවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි රජය සතු ආයතන සඳහා එය සාර්ථක වේ යැයි කිව නො හැකිය. රජය සතු ආයතන තුළමෙවැනි ලාබ ලැබීමේ දිරිගැන්වීම්වලින් ලැබෙන ප්‍රතිඵල අවමය. 

මෙහිදී හිමිකරු වන්නේ රජයයි. ඉන්ධන හිඟ වීමෙන් මහජන නොසන්සුන්තාවක් ඇති වේ යැයි බිය වන රජය, කොතරම් අධික මිලක් ගෙවා හෝ හිඟ ඉන්ධන මිල දී ගන්නා ලෙස සංස්ථාවට බලපෑම් කළ හැකිය. HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දෙන පරිදි, පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286ක් වැනි ඉතා අධික මිලකට මිල දී ගත් අවස්ථාවේදී සිදු වූයේ ද මෙයයි. 

මෙහිදී සිදු වන්නේ ඉන්ධන මිල නියම කරන්නේත්, එම පාඩුව දරාගත යුතු හිමිකරු වන්නේත් රජයම වීමයි. පෞද්ගලික ආයතනයක මෙන් අඩු මිලට තෙල් ගෙනවිත් ලාභ ඉපයීමට රජය සතු ආයතනවල කළමනාකාරිත්වය කැපවීමෙන් කටයුතු කරාවි යැයි බලාපොරොත්තු වීම අභව්‍යය. මෙම පාඩුව පියවා ගැනීමට පෞද්ගලික හිමිකරුවකු නොමැති නිසා, කුමන ආකාරයකින් හෝ අවසානයේදී මේ සියලු‍ බර දරා ගැනීමට සිදු වන්නේ පාරිභෝගිකයාටය.