- ගංවතුර, නියඟ, නායයෑම් හා සුළි කුණාටු වැනි දේශගුණික හා ස්වාභාවික විපත් මෙරට රාජ්‍ය මූල්‍යයට ඉහළ අවදානමක්
- එම අවදානම් ඉදිරි වසර පහ තුළ ඇතිවීමේ සම්භාවිතාව සියයට 50කට වැඩියි
විමුක්ති එස්. රුද්‍රිගු
තෙල් මිල ඉහළ යාම, මැදපෙරදිග භූ දේශපාලනික තත්වය සහ දේශගුණික විපත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යයට ඉදිරි වසර කිහිපයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට එකකට වැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් තිබෙන බව 2027 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශ වාර්තාවේ සඳහන් වේ.
මැදපෙරදිග තත්වය ඇතුළු සාර්ව ආර්ථික අවදානම් සහ ගංවතුර, නියඟ, නායයෑම් හා සුළි කුණාටු වැනි දේශගුණික හා ස්වාභාවික විපත් මෙරට රාජ්‍ය මූල්‍යයට ඉහළ බලපෑමක් ඇති කළ හැකි අවදානම් ලෙස භාණ්ඩාගාරය එම වාර්තාව මගින් හඳුනාගෙන ඇත.
එම අවදානම් ඉදිරි වසර පහ තුළ ඇතිවීමේ සම්භාවිතාව සියයට 50කට වැඩි බවද ප්‍රකාශයේ දැක්වේ.
මැදපෙරදිග භූ දේශපාලනික තත්වය, ලෝක වෙළෙඳපොළේ තෙල් ඇතුළු භාණ්ඩ මිල වෙනස්වීම්, විදේශ විනිමය අනුපාත පීඩනය, ජාත්‍යන්තර ප්‍රාග්ධන ගලායාමේ වෙනස්කම් සහ සංචාරක ආදායම්වල වෙනස්කම් ලංකාවේ ආර්ථිකයට බලපාන ප්‍රධාන අවදානම් ලෙස හඳුනාගෙන තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බලශක්තිය ආනයනය මත දැඩි ලෙස රඳා පවතින බැවින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමෙන් විදේශ විනිමය සංචිත, ණය ලබාගැනීමේ පිරිවැය සහ ණය ගෙවීමේ හැකියාවට පීඩනයක් ඇති විය හැකි බවද එහි සඳහන් වේ.
මේ අතර ගංවතුර, නියඟ, නායයෑම් සහ සුළි කුණාටු වැනි ස්වාභාවික විපත් හේතුවෙන් සහන, ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා රජයට අමතර වියදම් දැරීමට සිදුවන බවද පැවැසෙයි.
දේශගුණික විපත් හේතුවෙන් කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල නිෂ්පාදනය අඩුවීමෙන් රැකියා, ආදායම්, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන ආදායම්වලටද බලපෑම් ඇති විය හැකි බව එහි දැක්වේ.
එල්නිනෝ සහ ලා නිනා දේශගුණික චක්‍රද මෙම අවදානම වැඩි කළ හැකි බවත්, එම තත්වය හේතුවෙන් ඇතැම් වසරවල නියඟ හෝ ගංවතුර ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බවත් භාණ්ඩාගාරය පවසයි.
එසේම රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ අවදානමද රජයේ මූල්‍යයට ඉහළ බලපෑමක් ඇති කළ හැකි අවදානමක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය ඉදිරි වසර පහ තුළ ඇතිවීමේ සම්භාවිතාව සියයට 10ත් 50ත් අතර බව ප්‍රකාශයේ අවදානම් සිතියමේ දැක්වේ.
විදුලිබල, බලශක්ති, ජල සැපයුම් සහ ගුවන් සේවා වැනි අංශවල රාජ්‍ය ආයතනවල මූල්‍ය දුර්වලතා හේතුවෙන් ඒවාට නැවත ප්‍රාග්ධනය ලබාදීමට හෝ රජයේ අයවැයෙන් මුදල් ලබාදීමට සිදුවීමේ අවදානමක් පවතින බවද භාණ්ඩාගාරය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd