- තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
- මෝටර් රථ තාක්ෂණය සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක්
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ තරුණයන් 100,000කට වැඩි පිරිසකට රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය පුහුණුව ලබාදීම සහ රටේ පුහුණු ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එය 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා සකස් කිරීම, පුහුණු ආයතන සහ කර්මාන්ත අතර සබඳතා ශක්තිමත් කිරීම සහ තරුණයන්ට රැකියා අවස්ථා වැඩි කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.
මෙම වැඩසටහන යටතේ මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර සඳහා නව වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදීමටද නියමිතය. එමෙන්ම මෝටර් රථ තාක්ෂණය සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, පළාත් නවයම ආවරණය වන පරිදි පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමටත් මෙම වැඩසටහන යටතේ කටයුතු කෙරේ.
පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා පුළුල් කිරීම, ගුරුවරුන්ගේ පුහුණු හැකියාව වැඩිදියුණු කිරීම සහ පුහුණු ලබන තරුණයන්ගේ කුසලතා ඇගයීම හා සහතික කිරීමේ ක්‍රියාවලියට කර්මාන්ත ක්ෂේත්‍රයේ සහභාගීත්වය වැඩි කිරීමද වැඩසටහනට ඇතුළත් වේ.
සේවා ස්ථාන ආශ්‍රිත පුහුණුව පුළුල් කිරීම සහ පෞද්ගලික අංශය සමඟ ඇති සබඳතා ශක්තිමත් කිරීම හරහා පුහුණුව අවසන් කරන තරුණයන් රැකියා වෙළෙඳපොළට සෘජුව සම්බන්ධ කිරීමද මෙහිදී අපේක්ෂා කෙරේ. කාන්තාවන් සඳහාද මෝටර් රථ තාක්ෂණය, ඉංජිනේරු, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්ති වැනි සාම්ප්‍රදායික නොවන රැකියා ක්ෂේත්‍රවලට ඇතුළුවීමට වැඩි අවස්ථා ලබාදීම වැඩසටහනේ තවත් අරමුණකි.
ලබාදුන් ණය මුදල පිළිබඳව අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කවුලින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික පරිවර්තනය සහ තරගකාරීත්වය ඉහළ දැමීමට පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්වයට පත්වෙමින් තිබුණද මෙරට ප්‍රධාන අංශවල පුහුණු ශ්‍රමික හිඟයක් තිබෙන බවද ඇය පැවැසුවාය. එසේම මෙරට තරුණ විරැකියා ප්‍රතිශතය ඉහළ බවත් කාන්ත ශ්‍රම බළකා සහභාගීත්වය පහළ මට්ටමක තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd