• සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතියලත් සංචාරක හෝටල් කාමර සංඛ්‍යාව 30,000කට අධිකයි
  • එම අනුමැතිය නොමැති කාමර සංඛ්‍යාවත් 90,000 කට අධිකයි
  • යුරෝපයෙන් එන බැක්පැකර් කෙනෙක් වුණත් දවස් 30ක් ලංකාවේ ඉඳලා ඩොලර් 3000ක් වියදම් කරද්දී, රාත්‍රී 3 ක් ඉන්න ඉන්දියානුවෙක් වියදම් කරන්නේ ඩොලර් 300යි

අද වනවිට රට තුළ ඇති විධිමත් සහ අවිධිමත් සංචාරක හෝටල් කාමර ගණන ලක්ෂ 30ක වාර්ෂික සංචාරක පැමිණීමක් සඳහා ප්‍රමාණවත් බවත්, සිදුවිය යුතුව ඇත්තේ සංචාරකයන් රැගෙන ලංකාවට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව ඉහළ නැංවීම බවත් තේමා කලෙක්ෂන් හෝටල් සන්නාමයේ නිර්මාතෘ සහ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසයි.

සිය තේමා කලෙක්ෂන් හෝටල් ජාලයේ නවතම හඳුන්වාදීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ හමුවකදී ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය. අද වන විට තේමා කලෙක්ෂන් සන්නාමය යටතේ ක්‍රියාත්මක සංචාරක හෝටල් 17ක් සතු කාමර සංඛ්‍යාවද 362 කට ආසන්නය.

“සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතියලත් සංචාරක හෝටල් කාමර සංඛ්‍යාව 30,000කට අධිකයි. එම අනුමැතිය නොමැති කාමර සංඛ්‍යාවත් 90,000 කට අධිකයි. මෙම කාමර සංඛ්‍යාව වසරකට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 30කට ප්‍රමාණවත්. ඒ නිසා ඉක්මන් කාරණාව එය නෙමෙයි. සිදුවිය යුත්තේ රට වෙත සංචාරකයන් රැගෙන එන ගුවන් යානා සංඛ්‍යාව වැඩි කර ගැනීමයි. ඒ සඳහා අලු‍තින් ගුවන් සේවා ලංකාව හා සම්බන්ධ කරගත යුතුයි.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා විශේෂයෙන්ම එළැඹෙන ශීත ඍතුවේදී යුරෝපයේ සිට මෙරටට පැමිණෙන පුළුල් බඳ සහිත ගුවන් යානා හරහා වැඩි යුරෝපියානු සංචාරකයන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවත් පවසා සිටියේය. 

“යුද්ධයත් එක්කම යුරෝපයෙන් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීම සංචාරක ආදායම අඩුවීමට හේතු වුණා. තවත් පැත්තකින් ගත්තොත් හැමෝම චෝදනා කරන යුරෝපයෙන් එන බැක්පැකර් කෙනෙක් වුණත් දවස් 30ක් ලංකාවේ රැඳී ඉඳලා ඩොලර් 3000ක් වියදම් කරද්දී, රාත්‍රී 3 ක් ඉන්න ඉන්දියානුවෙක් වියදම් කරන්නේ ඩොලර් 300යි. ඒ වගේම ඉන්දියානුවන් ලංකාවට ඇවිල්ලා කැසිනෝ ක්‍රීඩා කරද්දී සිදු කරන වියදම් හරියට ගණන් නොබැලීමත් ගැටලු‍වක්.”