IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් බදුවලින් මතු වන අභියෝග සහ අවස්ථාව පිළිබඳ විද්වත් සංවාදයක්

 ඡායාරූපය - උපුල් අබේසේකර


භානුක අමරසිංහ 


ඇමෙරිකා එක්සත් ජනපදයේ තීර බදු පැනවීම් හරහා මෙරට ව්‍යාපාර වෙත එල්ල වන බලපෑම තේරුම් ගැනීම සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් සංවිධානය කරන්නට ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා කටයුතු යෙදීය. 

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාර කවුන්සිලය සමගින් එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවෙන් විශේෂයෙන්, සියයට 44ක මෙම තීරු බදු පැනවීම හරහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට මතුවන අභියෝග සහ අවස්ථා පිළිබඳව අවධානය යොමු විය. 

මෙම අවස්ථාවට KPMG  ආයතනයේ කමායා පෙරේරා, බ්‍රැන්ඩිස්ක් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න, රබර් නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති පුෂ්පික ජනධීර සහ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාද් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ. 
සංවාදය මෙහෙයවීමට ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථිකවිද්‍යා ප්‍රතිපත්ති උපදේශක ෂිරාන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ විය. 

මෙහිදී අදහස් දැක්වූ බ්‍රැන්ඩික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න මහතා, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පැනවූ මෙම තීරු බදු සම්බන්ධයෙන් සහ දැනට ලබාදී තිබෙන දින 90ක සහනය පිළිබඳව සිය ගනුදෙනුකරුවන් වන ජාත්‍යන්තර සන්නාම සහ සිය ගැනුම්කරුවන් මේ වනවිට දැඩි අවධානය යොමු කර තිබෙන බව පවසා සිටියේය. 

“අපගේ ගැනුම්කරුවන්ගේ ලොකුම අවධානය යොමුවෙලා තිබෙන්නේ මේ තීරු බදු ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අපගේ රජය මොනවගේ පියවර වෙත පිවිස තිබෙනවාද කියලයි. ඒ වගේම මේ තීරු බදු පැනවීම නිසා එල්ල වන බලපෑම කෙසේ බෙදා ගත යුතු දැයි යන්න පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනවා. ඇමෙරිකානු රජය එය එරට ජනතාව පිට පැටවීමට කැමැති නැහැ.’’

මේ අතර මෙම දින 90ක කාලය කල් පිරෙන ලබන ජූලි 09 වැනිදාට පෙරාතුව මෙරටින් තවත් ඇණවුම් ලබා ගැනීමට එම ගැනුම්කරුවන් පෙළඹී තිබෙන බවත් ප්‍රේමරත්න මහතා මෙහිදී අනාවරණය කළේය. 

“ඒ වගේම අපගේ ගැනුම්කරුවන් කිහිප දෙනකුම දැනටමත් විශ්වාසයෙන් කියලා තියෙනවා වෙනත් සැපයුම්කරුවන් වෙත නොයන බව.’’ 

එසේම මෙම තීරු බදු නිසා එල්ල වන බලපෑම මඟහැරවීමට සිය වියදම් සීමා කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙන බවත් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති පුෂ්පික ජනධීර මහතා, ඇමෙරිකාව වෙත අපනයනය කරන සිය රබර් නිෂ්පාදන වැඩි වශයෙන්ම ටයර් නිෂ්පාදන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන වන බව සඳහන් කළේය. එසේම ට්‍රම්ප් බලාපොරොත්තු වන ආකාරයට රබර් නිෂ්පාදනය ඇමෙරිකාව වෙත රැගෙන යාමත් අසීරු බව ඔහු පැවසීය. 

කෙසේ වෙතත් ආසියානු කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවට තරගකාරී රබර් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත පනවා ඇති ඇමෙරිකානු තීරු බදුවල පවතින වෙනස්කම නිසා මෙරට රබර් නිෂ්පාදන කර්මාන්තය වෙත බලපෑම් එල්ල වන බව ඔහු පෙන්වා දුන්නේය. 

“අපගේ තරගකරුවන් සහ අප සම්බන්ධයෙන් පනවා ඇති තීරු බදු අනුපාත නිසා යම් ගැටලු‍වක් පවතිනවා. මෙරට ප්‍රධානතම රබර් ආශ්‍රිත අපනයනය වන්නේ ටයර. අනෙක අත්වැසුම්. අත්වැසුම් ගත්තොත් අපේ ප්‍රධානතම තරගකරුවන් වෙන්නේ චීනය සහ මැලේසියාව. චීනයට පනවා ඇති තීරු බදු නිසා එය ගැටලු‍වක් නැහැ. එහෙත් ලෝකයේ විශාලතම අත්වැසුම් නිෂ්පාදකයා වන මැලේසියාවට පනවා ඇති තීරු බද්ද සියයට 24යි. ඒ වගේම ටයර් නිෂ්පාදනය ගත්තොත් අපේ ප්‍රධානතම තරගකරුවා වන ඉන්දියාවට පනවා ඇත්තේ සියයට 26ක ප්‍රතිශතයක් පමණයි.’’ 

මෙම තත්වයත් සමගින්ම ශ්‍රී ලංකාව සිය අපනයන සඳහා පනවා ඇති මෙම තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් සමගින් එකඟතාවකට පැමිණීම වඩාත් වැදගත් බව මෙම සංවාදයේදී අවධාරණය කෙරිණි. 

මෙහිදී අදහස් දක්වා සිටි KPMG  ආයතනයේ කමායා පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. “අපි කැමැති වුණත් අකැමැති වුණත් අපිට සිද්ධ වෙනවා ඇමෙරිකාවත් සමගින් යම් එකඟතාවකට පැමිණෙන්න. එය තමයි කෙටි කාලීන විසඳුම. ඒ වගේම දිගුකාලීනව අපිට සිද්ධ වෙනවා වෙනත් අපනයන වෙළෙඳ පොළ අවස්ථා පිළිබඳව සොයා ගෙන යන්න. එයට කාලයක් ගත වෙනවා. ඒ නිසා ඇමෙරිකාව සමගින් ඉක්මනින්ම එකඟතාවට පැමිණීම අතිශය වැදගත්’’ 
මේ අතර ට්‍රම්ප්ගේ මෙම තීරු බදු පැනවීම සහ එය තවත් දින 90කට කල් දැමීම හරහා මතුව තිබෙන අනපේක්ෂිත බව වෙළෙඳපොළ වෙත ඉතාමත් අහිතකර බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය. 

“මෙය භයානක තත්වයක්. එය ශ්‍රී ලංකාව වෙත සිදු කරන නව ආයෝජන වෙත බලපෑම් එල්ල කරනවා. ඒ වගේම මේ තීරු බදු පැනවීම් හරහා සිදුවන පිරිවැය ඉහළ යාම් නිසා සිදුවන වියදම් සීමා කිරීම් අපේ අපනයන වෙත වගේම සංචාරක කර්මාන්තය වෙතත් බලපාවි’’ ඔහු පැවසීය. 

විශේෂයෙන්ම මෙලෙස ඇමෙරිකාවට සිදු කරන ආනයන වලට පනවන තීරු බදු ඉහළ දැමීම හරහා ට්‍රම්ප් පරිපාලනය බලාපොරොත්තු වන්නේ එරට තුළ නිෂ්පාදන කටයුතු වර්ධනය කිරීම පැහැදිලි යැයි මෙම විද්වත් මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව යම් දිනෙක Made in USA යන්න ඉදිරිපත් කිරීමට ඇමෙරිකාවට හැකි වුවහොත් එය එරට ලබා ගන්නා සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඔවුහු පෙන්වා දුන්හ. 

“මෙය ඇමෙරිකාවට පහසු කටයුත්තක් නෙමෙයි. ඊට තවත් බොහෝ කල් ගත වෙනවා. ඒ නිසා මේ උදාවන අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම ලංකාවට අතිශය වැදගත්’’ ඔවුහු සඳහන් කළහ. 

 



අදහස් (0)

ට්‍රම්ප් බදුවලින් මතු වන අභියෝග සහ අවස්ථාව පිළිබඳ විද්වත් සංවාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site