• ඇමරිකානු තාක්ෂණය යොදා ගනිමින් වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට නව ඩිජිටල් පද්ධති හඳුන්වාදීම සැලසුමයි
  • කොළඹ වරාය වාර්ෂිකව හසුරුවන එක්සත් ජනපදය හා සම්බන්ධ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 30ක් 

දකුණු ආසියාවේ කාර්යබහුලම සහ උපායමාර්ගික වශයෙන් වැදගත් සමුද්‍රීය වෙළෙඳ මධ්‍යස්ථාන අතරින් එකක් වන කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් සිදු කරන බව එක්සත් ජනපදය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමග එක්ව, ඇමරිකානු තාක්ෂණය යොදා ගනිමින් වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇතැයි පවසයි.

එසේම මෙම ව්‍යාපෘතියෙන් ගෝලීය වෙළෙඳාම තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ශක්තිමත් කරන අතරම, ඇෙමරිකානු ව්‍යාපාරවලට සහාය වීමටත්, එක්සත් ජනපදයේ සැපයුම් දාම සුරක්ෂිත කිරීමටත්, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ අවස්ථා පුළුල් කිරීමටත් දායක වනු ඇතැයි අදහස වී තිබේ.

එක්සත් ජනපදයේ අරමුදල් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන්, ලේඛන කටයුතු අවම කිරීමට, සම්බන්ධීකරණය විධිමත් කිරීමට සහ කොළඹ වරාය හරහා භාණ්ඩ හැසිරවීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වන, සම්බන්ධිත ඩිජිටල් පද්ධති දෙකක් වන නාවික සේවා හා තොරතුරු හුවමාරු පද්ධතිය (Maritime Single Window) සහ වරාය ප්‍රජා පද්ධතිය (Port Community System)  සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහාය ලබාදීම අපේක්ෂාවයි. 

මෙම පද්ධති මගින් නැව් සමාගම්, රේගු නිලධාරීන්, ආගමන බලධාරීන්, වරාය මෙහෙයුම්කරුවන් සහ ව්‍යාපාරික ආයතන අතර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත. 

එමගින් වෙළෙඳ කටයුතු මන්දගාමී කරන ලේඛන කටයුතු සහ එකිනෙකට සම්බන්ධ නොවූ ක්‍රියාවලි වෙනුවට වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇතැයි සඳහන් වෙයි.

කොළඹ වරාය වාර්ෂිකව එක්සත් ජනපදය හා සම්බන්ධ ඇමරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වටිනා භාණ්ඩ හසුරුවන අතර, එය දකුණු ආසියාව ගෝලීය වෙළෙඳපොළ සමග සම්බන්ධ කරන ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් (transshipment hub)  ලෙස ද ක්‍රියා කරයි. 

“ඇමරිකානු වෙළෙඳාම රඳා පවතින්නේ කාර්යක්ෂම, විශ්වසනීය සහ නවීන වෙළෙඳාමේ අවශ්‍යතා සපුරාලීමට සූදානම් වරායන් මතයි,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා මෙහිදී පවසා තිබේ.

ඇමරිකානු වෙළෙඳසල් වෙත නැව්ගත කෙරෙන ශ්‍රී ලාංකික ඇඟලු‍ම්වල සිට ගෝලීය සැපයුම් දාම හරහා ප්‍රවාහනය කෙරෙන ඇමරිකානු යන්ත්‍රෝපකරණ, ආහාර සහ එදිනෙදා භාවිතයට අවශ්‍ය භාණ්ඩ දක්වා, වරායන්හි සිදුවන ප්‍රමාදය හේතුවෙන් ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද වැඩි පිරිවැයක් දැරීමට සිදු වේ. 

ශ්‍රී ලංකාව සිය වරාය ධාරිතාව පුළුල් කරන විට, ඉහළ යන භාණ්ඩ ප්‍රමාණය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්, නැව් වරායේ ගත කරන කාලය අඩු කිරීමටත්, කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ තරගකාරීත්වය පවත්වා ගැනීමටත් නවීන ඩිජිටල් යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වනු ඇත.

“කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ අනාගතය රඳා පවතින්නේ භෞතික යටිතල පහසුකම් පුළුල් කිරීම මත පමණක් නොව, අපගේ වරාය මෙහෙයුම් ද නවීකරණය කිරීම මතයි,” යනුවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා ඇත. 

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා, 

“කලාපයේ ප්‍රමුඛ සමුද්‍රීය හා ප්‍රවාහන-සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කොළඹ වරාය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් සඳහන් කර තිබේ.