• පළමු සහ දෙවැනි කාර්තුවලදී බදු පසු ලාබයේ කැපී පෙනෙන අඩු වීමක් 
  • ආදායම් වැඩි වුණත් අලෙවි සහ බෙදාහැරීම් වියදම් ඉහළ යෑම හේතුවයි

ලංකා අයිඕසී (Lanka IOC)  සමාගම 2026-27 මූල්‍ය වර්ෂයේ ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ රුපියල් මිලියන 296 ක (රුපියල් 295,970,000ක) මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. 

සැප්තැම්බර් 30න් අවසන් වූ 2026-27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා වන අතරමැදි මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් සමාගම ‍මෙම කරුණු සඳහන් කර සිටියි. 

විශේෂයෙන්ම එම කාර්තුව තුළ සිදු වුණු අලෙවි පිරිවැයේ ඉහළයෑම සහ අලෙවි සහ බෙදාහැරීමේ වියදම් මේ සඳහා කැපී පෙනෙන ලෙස හේතු වී තිබේ. 

මෙම වාර්තාවට අනුව එම කාර්තුව තුළ සමාගම වාර්තා කර ඇති ආදායම රුපියල් බිලියන 97.31 කි. එහිදී රුපියල් බිලියන 94.84 ක අලෙවි පිරිවැයක් සටහන්ව ඇති අතර, දළ ලාභය රුපියල් බිලියන 2.4 කි. 

කෙසේ වෙතත් 2025-26 මුල්‍ය වර්ෂයේ එම කාලසීමාව තුළ මෙම ආදායම රුපියල් බිලියන 70.35ක් වී ඇති අතර, රුපියල් බිලියන 64.64 අලෙවි පිරිවැයත් සමගින් දළ ලාභය රුපියල් බිලියන 5.7 ක් විය. 

එසේම 2026-27 එම කාර්තුව තුළ සමාගමේ අලෙවි සහ බෙදාහැරීමේ වියදම් රුපියල් බිලියන 2.10 ක් ලෙස සටහන්ව තිබේ. පෙර වසරේ එම කාර්තුවේදී එය රුපියල් බිලියන 2.48ක් විය. 

ඒ අනුව මෙම වියදම්ද අඩු කිරීමෙන් අනතුරුව මේ වසරේ ජුලි-සැප්තැම්බර් කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 296ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර තිබේ. පෙර වසරේ එම කාර්තුවේදී එය රුපියල් බිලියන 2.50 ක ලාභයක් විය. 

මෙම අගය සමගින් මේ වසරේ ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ ලංකා අයිඕසී සමාගම වාර්තා කළ බදු පෙර ලාභය රුපියල් බිලියන 1.37 ක් වන අතර, රුපියල් මිලියන 416.15ක ආදායම් බදු අඩු කිරීමෙන් අනතුරුව එය රුපියල් මිලියන 962ක් බවට පත්ව තිබේ. 

කෙසේ වෙතත් 2025-26 මූල්‍ය වර්ෂයේ එම කාර්තුව තුළ සමාගමෙහි බදු පෙර ලාභය රුපියල් බිලියන 3.68ක් වූ අතර, රුපියල් මිලියන 730 ක ආදායම් බදු අඩු කිරීමෙන් පසුව රුපියල් බිලියන 2.96 ක ලාභයක් වාර්තා කර තිබුණි. 

එසේම 2026-27 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වූ පළමු අර්ධය තුළ මෙම බදු පසු ලාභය රුපියල් බිලියන 2.49ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 එම කාලසීමාව තුළ එය රුපියල් බිලියන 5.28 ක් විය. 

විශේෂයෙන්ම පසුගිය වසරේ එම කාලසිමාව තුළ සමාගමෙහි දළ ලාභය රුපියල් බිලියන 10.53ක් වූ අතර, මේ වසරේ එය රුපියල් බිලියන 6.26 ක් දක්වා අඩු වී තිබේ. 

එසේම මේ වසරේ රුපියල් බිලියන 4ක් වූ අලෙවි සහ බෙදාහැරීමේ වියදම් සමගින් මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 798 ක් ලෙස සටහන්ව ඇත. 

පසුගිය වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 4.8 ක අලෙවි සහ බෙදාහැරීමේ වියදම්ද සමගින් මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 4.37ක් විය.