• අගෝස්තු වන විට සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් විසි දෙලක්ෂ අනූ හත්දහසක්
  • වසර තුළ මේ දක්වා අලු‍තින් ක්‍රෙඩිට් කාඩ්පත් 131,597ක් නිකුත් කරලා

2026 අගෝස්තු මාසය අවසන් වනවිට මෙරට භාවිත කරන ක්‍රෙඩිට් කාඩ්පත් සතුව ගෙවීමට ඇති හිඟ මුදලේ වටිනාකම රුපියල් බිලියන 213ක් (රුපියල් මිලියන 213,425ක්) ලෙස සටහන්ව තිබේ. අගෝස්තු මාසය වනවිට සක්‍රියව පැවැති කාඩ්පත් 2,297‍්,783ක් සතුව මෙම හිඟ මුදල් පවතින බව මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ සටහන්ව ඇත.

ඒ අනුව මෙය පසුගිය ජූලි මාසයේදී සටහන් වූ රුපියල් බිලියන 209 ට සාපේක්ෂව රුපියල් බිලියන 4.23 ක ඉහළ යෑමකි. එසේම 2025 වසර අවසානයේදී පැවැති රුපියල් බිලියන 190 ට සාපේක්ෂව රුපියල් බිලියන 23.72 කින් මෙම ගෙවිමට ඇති හිඟ මුදලේ වටිනාකම ඉහළ ගොස් තිබේ.

මේ අතර එම දත්ත පෙන්වා දෙන ආකාරයට 2026 වසර ආරම්භයේ සිට අගෝස්තු මාසයේ අවසානය දක්වා කාලය තුළදී දේශීයව සහ ගෝලීයව පිළිගන්නා ක්‍රෙඩ්ට් කාඩ්පත් 131,597 ක් අලු‍තින් නිකුත් කිරීමක්ද සිදුව තිබේ. එහිදී අගෝස්තු මාසය තුළදී පමණක් අලු‍තින් නිකුත් කෙරුණු කාඩ්පත් සංඛ්‍යාව 17,663 කි.