• වසරේ මුල් මාස හත තුළ හිඟ මුදල රු.බිලියන 19.4 කින් වැඩිවෙලා 
  • ජනවාරි සිට ජූලි දක්වා අලු‍තින් නිකුත් කළ කාඩ් සංඛ්‍යාව 113,934 ක්

මෙරට තුළ පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සතු ගෙවීමට ඇති හිඟ මුදල පසුගිය ජූලි මාසය අවසන් වන විට රුපියල් බිලියන 209.18ක් බවට පත්ව ඇතැයි මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ දැක්වෙයි. 

මෙය පසුගිය ජූනි මාසයේදී රුපියල් බිලියන 206.28ක් ලෙස පැවතුණි. ඒ අනුව මෙම හිඟ මුදල මාසයක් තුළ රුපියල් බිලියන 3ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. එසේම 2025 දෙසැම්බරයේදී මෙම හිඟ මුදල රුපියල් බිලියන 189.70ක් ලෙස සටහන් වූ අතර. ජනවාරි සිට ජූලි දක්වා වසරේ මුල් මාස හත තුළදී එම හිඟ මුදලේ වටිනාකම තවත් රුපියල් බිලියන 19.4 කින් ඉහළ ගොස් තිබේ. 

මහ බැංකුවේ දත්ත අනුව ජූලි මාසය වන විට මෙරට තුළ සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,280,120 කි. මෙය 2025 දෙසැම්බරයේදී පැවැති සමස්ත කාඩ්පත් 2,166,186 හා සැසඳීමේදී නව කාඩ්පත් 113,934 ක් නිකුත් කිරීමකි. ජූලි මාසයේ පැවති මෙම කාඩ්පත් 7,606ක් දේශීයව පිළිගන්නා කාඩ්පත් වන අතර, කාඩ්පත් 2,272,514ක් ගෝලීයව පිළිගන්නා කාඩ්පත් වෙයි.