

උද්ධමනය ඉලක්ක කිරීම:-
ශ්‍රී ලංකාවේ නවය සුබදායී ඉලක්කමක් ලෙස සැලකෙන්නේ නැත. අහම්බෙන් මෙන් ඉංග්‍රීසි inflation (උද්ධමනය) යන වචනයට ද ඇත්තේ අකුරු නවයකි. එහෙත් උද්ධමනය යන්නට කුමන ඉලක්කමක් ගෑවී තිබුණත් - (ඇතැම් විට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ඉඳහිට වෙනස් වුවත්) - කාට වුව ඒ ගැන ප්‍රසාදයක් නැති තරම්ය.
උද්ධමනය යන්න, සරල වචනයෙන් කිවහොත්, කාලයත් සමග මුදලට ගත හැකි දෑ ප්‍රමාණයෙන් අඩුවෙමින් භාණ්ඩ හා සේවාවල සාමාන්‍යයෙන් සිදුවන මිල මට්ටම්වල ඉහළ නැගීමය. මූලික වශයෙන් කොළඹ නාගරික ප්‍රදේශයේ මිල ගණන් පිළිබිඹු වන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම, සමස්ත උද්ධමනය මනිනු ලබන දර්ශකය වේ. විවිධ කුටුම්භ විසින් අත්විඳිනු ලබන උද්ධමනය ග්‍රහණය කර ගැනීමේ ලා තනි දර්ශකයක් ලෙස සහ එහි ගණනය කිරීම සම්බන්ධයෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අදාළත්වය පිළිබඳව බොහෝ කලක පටන් වාද විවාද පවතී.
සාමාන්‍ය පුරවැසියාට අදාළ වන්නේ, මගේ සාක්කුවේ ඇති මුදලින් මට කුමක් මිලදී ගත හැකි වේද යන්නය.
පෙර නොවූ විරූ අයුරින් සියයට 67.4 ක උද්ධමනය කරා ගිය විට, 2022දී අසාමාන්‍ය උද්ධමනීය කම්පනයක් ශ්‍රී ලංකාව අත්වින්දේය. ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් හිටිහැටියේ ඉහළ නැගුණේ කුටුම්භ වියහියදම් වෙත දැඩි පීඩනයක් ඇති කරමිනි. අද වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සියයට දෙකක (සියයට 2) ඉහළ පහළ යාමේ නම්‍යතාවකට ඉඩ දෙමින් සියයට පහක (සියයට 5) උද්ධමන ඉලක්කයක් ඇතිව මෙහෙයුම් සිදු කරයි.
උද්ධමනය ඉලක්ක කිරීමේ අරමුණ:-
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමන අනුපාතිකය තීරණය කිරීමෙන් වෙළෙඳපොළේ, බත් පැකට්ටුවක, පාන් ගෙඩියක හෝ ඉන්ධන ලීටරයකට මිල මහා බැංකුව විසින් තීරණය කරනු ලබන්නේය යන්න අදහස් නොවේ. එය උද්ධමනය ඉලක්ක කරගනුයේ, දේශීය මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ දීර්ඝ කාලීන තිරසාර ආර්ථික වර්ධනයට සහාය දෙනු පිණිසය. එයින් ව්‍යාපාරවලට, ආයෝජකයන්ට සහ රටවැසියන්ට පුරෝකථනය කළ හැකි පදනම් රේඛාවක් සපයමින් ඉතිරිකිරීම්වල වටිනාකම ආරක්ෂා කර, ආයෝජන දිරිගන්වා, විනිමය අනුපාතිකය ස්ථාවර කරමින් මිල ඉහළ යාම වළක්වනු ලබයි.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ උද්ධමනය ඉලක්ක කිරීම සහ ඊට අදාළ පරාමිතීන් අවම වශයෙන් අවුරුදු තුනකට වරක් හෝ විශේෂ අවස්ථා මතු වූ විට එසැණින් ඒ යටතේ සමාලෝචනයට ලක් කිරීම කරනු ලබන්නේය. රජය සහ ශ්‍රී ලංකා මහා බැංකුව අතර වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති සැලැසුම් ගිවිසුම 2023 ඔක්තෝබර් මාසයේ දී ප්‍රසිද්ධ කරනු ලැබීය. මීළඟ සමාලෝචනය මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කිරීමට නියමිතය.
මෙම සමාලෝචනයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිතීන් පිළිබඳව මහජන අදහස් විමසීමේ සමීක්ෂණයක් මේ වන විටත් සිදු කරමින් පවතී. වෙනස් වන ආර්ථික තත්වයට අනුකූලව හැඩගැස්වීම් හෝ වැඩිදියුණු කිරීම අවශ්‍ය වන්නේද නැතහොත් දැනට පවතින සැලසුම් රාමුව සෑහේද යන්න ඇගයුම් කිරීමට මෙය උපකාරී වේ.
මහ මග යන මිනිසාට මිල්ටන් ෆ්‍රයිඩ්මන් මුණගැසීම:-
උද්ධමනයට හේතු මොනවාද යන්න ගැන අර්ථ ශාස්ත්‍රඥයෝ බොහෝ කලක පටන් තර්ක කළහ. චිරාගත මූල්‍ය මතවාදයේ සැලකිය යුතු වැදගත්කමක්, මුදල් නිර්මාණය හා ඉල්ලුමේ පීඩනය කෙරේ දී ඇති අතර විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවල, ව්‍යුහවාදී අර්ථ ශාස්ත්‍රඥයෝ සැපයුම් සීමාවීම්, සංස්ථාපිත දුර්වලතා සහ ව්‍යුහාත්මක අවහිරතා කෙරේ වැඩි අවධානයක් යොමු කරති.
නොබෙල් ත්‍යාගලාභී සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රයිඩ්මන්, උද්ධමනය “නිරන්තරයෙන් සැම තැනම පවතින මූල්‍ය සංසිද්ධියක්” ලෙස විස්තර කළේය. ඔහුගේ තර්කය වූයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ආර්ථිකයේ හැකියාව අබිබවා වේගවත් ලෙස මුදල් වර්ධනය වීම හා තිරසාර උද්ධමනය අවසානයේ හොඳින් ඒකාබද්ධ වී පවතින්නේය යන්නය. ෆ්‍රයිඩ්මන් කෙතරම් සුප්‍රසිද්ධ වුවත්, මහ මග යන මිනිසා, කෙතරම් අප්‍රසිද්ධියේ වුව ඔහුගේ අත්දැකීමෙන්, මෙම විවාදය තනි හේතුවකට ලඝු කළ නොහැක්කේ මන්දැයි විස්තර කර දෙන්නේය.
උද්ධමනයට හේතු:-
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සමස්ත උද්ධමනය හා මූලික උද්ධමනය වසරින් වසර ජනවාරියේ සිට කෙමෙන් ඉහළ ගොස් 2026 අගෝස්තුවේදී සියයට 8 දක්වා පැමිණියේ සියයට 5 ඉලක්කයද අබිබවා යමින් ය. ආහාර සහ ආහාර නොවන භාණ්ඩවල මිල ගණන්වල සෑහෙන මිල ඉහළ යාමක් වාර්තා වූයේය. ශ්‍රී ලංකාවේ උද්ධමන අපේක්ෂාව සෑහෙන තරමේ අවිනිශ්චිතතාවකට පත් වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පිළිගෙන තිබේ.
ගෝලීය බලශක්ති සහ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම, භූ දේශපාලනික ආතතිය, මැදපෙරදිග පවතින ආතතීන්, විනිමය අනුපාතික වෙනස්වීම්, සැපයුම් දාම අවහිරතා, සහ දේශීය නිෂ්පාදන තත්ව යන සියල්ල දේශීය මිල ගණන්වලට බලපානු ලබයි.
ශ්‍රී ලංකාව වැනි විවෘත ආර්ථිකයකට, දුර්වල රුපියලකින්, ආනයනික ඉන්ධන, ආහාර සහ අමුද්‍රව්‍යවලින් දේශීය මිල ඉහළ දැමිය හැකිය. ජාත්‍යන්තර නැව් ගමන් අවහිරතාවලින්, ආනයනවල පිරිවැය ඉහළ යා හැකි වේ. ගෝලීය තෙල් මිල ගණන් පරිවහන සහ නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපෑ හැකිය. කාලගුණ තත්වය කෘෂිකාර්මික නිෂ්පාදනයට අවහිරතා ඇතිකර ආහාර මිල ගණන් ඉහළ යාමට බලපෑ හැකිය. අනාගත මිල ගණන් වැඩිවීමේ අපේක්ෂා පාරිභෝගිකයන්ගේත් ව්‍යාපාරවලත් හැසිරීමට බලපෑ හැකිය.
මුදල් බලපාන බවට කිසිදු සැකයක් නැත. සැපයුම ආනයන, විනිමය අනුපාතික, බදු, සම්පාදන, නිෂ්පාදන පිරිවැය, කාලගුණය, නියාමන සහ අපේක්‍ෂා ඊටත් වඩා බලපාන්නේය.
උද්ධමනය සහ එහි වෙනස් මුහුණු:-
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණය කළ උද්ධමන අනුපාතිකයෙන් ඔබ සහ මා වෙළෙඳපොළට යන විට අත්විඳින කතාව කියා දෙයිද? සහල්, එළවළු, කිරිපිටි, ඖෂධ හා පාසල් අවශ්‍යතා මිලදී ගන්නට සාප්පු යන රටවැසියන්ට උද්ධමන ප්‍රතිශතයකින් කම් නැත. ඔවුන් සැලකිලිමත් වන්නේ මාර්කට්ටුවේ ප්‍රදර්ශනය වන මිල පුවරු ගැනය.
ධනවත් කුටුම්භයකු සහ දුප්පත් කුටුම්භයකු මුහුණ දෙන්නේ පාරිභෝගික භාණ්ඩවල එකම මිල ප්‍රතිශත වැඩිවීම්වලට වුවද, ඒ දෙදෙනාටම උද්ධමනය බලපාන්නේ එක සමාන විදිහට නොවේ. ශ්‍රී ලංකාවේ කුටුම්භයන්ගෙන් පහළම සියයට විස්ස (20%) ලබාගන්නේ ආදායමෙන් සියයට 4.6 ක් පමණක් වන අතර ඉහළම සියයට විස්ස ආදායමෙන් සියයට 51.4ක් ලබා ගනිති. ධනවත් පාරිභෝගිකයකුට මිල ඉහළ යාමක වැදගත්කමක් නැති තරම්ය. ඔහු මිල ඉහළ යාමකට සංවේදී වන්නේ අඩුවෙන් වන අතර ඇතැම් විට කොහෙත්ම සංවේදී නොවන්නට ද ඉඩ ඇත. ඔහුට බලපාන්නේ භාණ්ඩ වෙළෙඳපොළේ පවතීද, ඒවා ලබා ගැනීමේ පහසුව සහ රුචිකත්වය පමණකි. ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මාර්ග මිලාධික අලුත්ම අලුත්, නවතම මාදිලියේ වාහනවලින් පිරීයනු පෙනී යාම මීට කදිම නිදර්ශනයකි.
දුප්පත් කුටුම්භයන්ට මේ කතාව ඊට හාත්පසින් වෙනස් වේ. මිල ඉහළ යාමෙන් අදහස් වන්නේ මිලදී ගන්නා ආහාර ප්‍රමාණය අඩුවීමකි, ඖෂධ මිලදී ගැනීම කල් දැමීමකි, මුදල් ණයට ගැනීමක් හෝ තවත් වැදගත් වියදමක් කල් දැමීමකි. ඔවුන්ගේ සොච්චම් ඉපැයුම් අත්‍යවශ්‍ය දේ මිලදී ගන්නට ඔවුහු යොදති. වෙනත් ආකාරයකින් ඒවාට ගෙවිය හැකි මං ඔවුහු සොයති. කුසගින්නේ සිටින දරුවාට කිරි මිලදී ගන්නට සිය අසල්වැසියාගේ ගෙමිදුල මත වැටුණු පොල් ගෙඩියක් ණයට ගන්නට හෝ සොරකම් කරන්නට මවුපියෙක් පෙලඹෙති. ලංකා විදුලිබල මණ්ඩලයෙන් සැපයුම විසන්ධි කරන්නට පෙර බිරිඳගේ රත්රන් බඩු උකසට තබා විදුලි බිල ගෙවන්නට තවත් කුටුම්භයෙක් පෙළඹෙන්නේය. පවුලක් පරිභෝජනය කළ ආහාර ගුණාත්මක බවින් හෝ ප්‍රමාණයෙන් අඩු කරන්නට ඉඩ තිබේ. අන්ත දිළින්දකු උද්ධමනය අත්විඳින්නේ සාමාන්‍ය උද්ධමන ඉලක්කමෙන් සඳහන් කරනවාට වඩා අන්ත කටුක අත්දැකීමකි.
ආණ්ඩුවෙන් පාලනය කරනු ලබන මිල ගණන්:-
වෙළෙඳපොළේ ඇති පාරිභෝගික භාණ්ඩයක මිල මූල්‍ය තත්වයෙන් පමණක් තීරණය වන්නක් නොවේ. ආර්ථිකය තුළ ඇතැම් මිල ගණන් ආණ්ඩුවෙන් හෝ රජයේ හිමිකාරිත්වය ඇති ව්‍යවසායකින් ඍජුවම පාලනය වේ. විදුලි බලය, ජලය, ඉන්ධන සහ ආහාර පිසින ගෑස් එවැනි අයිතම කිහිපයකි. ඒවා කුටුම්භ වියදමට හා ව්‍යාපාර පිරිවැයට සෑහෙන තරම් බලපෑමක් ඇති කරයි. ඒවායේ මිල ඉහළ යන විට එකී විශේෂිත නිෂ්පාදනයේ හෝ සේවාවේ මිල ඉහළ යාමෙන් එම බලපෑම නවතින්නේ නැත. විදුලි බලය, කර්මාන්තශාලාවලට, සාප්පුවලට සහ නිවෙස්වලට බලපායි. ඉන්ධන පරිවහනයට බලපෑම් කරයි. පරිවහනය සෑම දේටම පාහේ බලපෑම් කරයි. රජයේ බදු, ගාස්තු, ආනයන තීරු බදු, නිරවුල් කර ඉවත් කර ගැනීමේ ගාස්තු, පරිවහන වියදම්, ඉන්ධන පිරිවැය සහ අනෙකුත් නියාමන මැදිහත් වීම් සියල්ල පාරිභෝගිකයා අවසාන වශයෙන් ගෙවන මිලට බලපෑ හැකිය.
ඒ හා සමානවම, රජයේ මැදිහත්වීමෙන් කෙරෙන සහල් වැනි තෝරාගත් පාරිභෝගික භාණ්ඩවලට උපරිම සිල්ලර මිලක් නියම කිරීම, වී වැනි කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට අවම මිලක් නියම කිරීම, සහනාධාර (පොහොර) ආදියෙන් වෙළෙඳපොළ හැසිරීමට බලපෑම් සිදු කළ හැකිය.
වෙළෙඳපොළ අසාර්ථකභාවය නිවැරදි කිරීමට කෙරෙන එවැනි මැදිහත්වීමකින් හෝ අලුත් විකෘතින් නිර්මාණය වීම වෙනස්ම ආකාරයේ, වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයකි.
සියයට 5 වඩාත් යෝග්‍ය උද්ධමන අනුපාතිකය ද?:-
බාහිර කම්පනවලට නිරාවරණය වීම, සැපයුම් පාර්ශ්වයේ අවහිරතා, සහ විනිමය අනුපාතිකයේ උච්චාවචන නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින විවෘත ආර්ථිකයකට සියයට 5 උද්ධමන ඉලක්කය වඩාත් යෝග්‍යතම ඉලක්කය වේ යැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සමස්ත උද්ධමනය නැවත සියයට 5 ඉලක්කය වෙත ගෙන එන්නට සමත් වුවහොත්, සාමාන්‍ය කුටුම්භයාට වියදම් දරාගත හැකි බවක් අනිවාර්යයෙන්ම දැනේවිද? උද්ධමන අනුපාතිකය සියයට 5 ය යන්නෙන් අදහස් වන්නේ මිල ඉහළ යාමේ වේගය කලින් පැවතියාට වඩා අඩු වූ බවකි. අවුරුදු කිහිපයකට පෙර පැවති මිල ගණන්වලට නැවත පැමිණි බවක් එයින් අදහස් වන්නේ නැත. ප්‍රසිද්ධ සාකච්ඡාවලදී මෙය සාකච්ඡාවට ගෙන නැත.
2022 දී මෙන් වසර කිහිපයක් තුළදී අත්‍යවශ්‍ය අයිතමවල මිල ගණන් තීව්‍ර ලෙස ඉහළ ගොස් ඇත්තේ නම්, වාර්ෂික උද්ධමන අනුපාතය අඩුවීමෙන්, කලින් පැවති මිල ඉහළ යාම නැවත ආපිට පහත වැටෙන්නේ නැත. මිල ඉහළ යාම් ඒකරාශී වූ වේගය හා සමානවම ආදායම ඉහළ නොගිය කුටුම්භවලට ජීවත්වීම සඳහා පහළ මට්ටමේ උද්ධමනය තවමත් අධික වියදම්කාරී වේ.
අර්ථ ශාස්ත්‍රඥයන් විසින් ශාස්ත්‍රීය කටයුතුවලදී භාවිත කරනු ලබන පාරිභාෂික බස අප කෑම මේසයේදී භාවිත කරන බසෙන් වෙනස් වන්නේ මෙතැනදීය. “උද්ධමනය පහත වැටෙමින් පවතී” යැයි, ආර්ථික විද්‍යාඥයන් පවසනු ඇත. “ඒත් කඩේට ගෙවන මගේ බිල අඩුවෙලා නැත”යි ගෘහණියක කියනු ඇත. මෙම කියමන් දෙකම සත්‍ය වන්නේය.
උද්ධමනය සහ ආයෝජන:-
මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අතිශය වැදගත් වන්නේය යනුවෙන් තර්කයක් පවතී. එම තර්කය නිවැරදිය. පුරෝකථනය කළ හැකි ස්ථාවර ආර්ථික තත්ව ආයෝජකයෝ ප්‍රිය කරති. එසේ වුවද උද්ධමන ස්ථාවරභාවය පමණක් ආයෝජකයන් ආයෝජන මණ්ඩලයේ දොරටුවෙන් ඇතුළට ගැනීමට නොසෑහේ.
ආයෝජකයෝ මිල ස්ථාවරත්වයෙන් ඔබ්බට ගිය පුළුල් පරාසයක සාධක සලකා බලති. දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය, නියාමන තත්ව, විනිවිද පෙනෙන සුළු බව, නීතිමය රාමු, බදුකරණය, යටිතල පහසුකම්, වෙළෙඳපොළ විශාලත්වය, මූල්‍ය පහසුව, පාලනය සහ ව්‍යාපාරය පවත්වා ගැනීම සැබැවින් පහසු වන්නේ ද යන සාධක ඒ අතර වේ. නිලධාරීවාදී ප්‍රමාදය, ලේඛනගත කිරීම් පමණට වඩා වැඩිවීම, නියාමනවල සංකීර්ණභාවය, ආයතන එකිනෙක කුඩා කොටස්වලට වෙන්ව තිබීම ආදිය සම්බන්ධ පැමිණිලි ද එම නිසා බොහෝ සෙයින් බලපානු ලබන්නේය.
ආයෝජකයකු පොලී අනුපාතය සහ උද්ධමන අනුපාතයේ ඉලක්කම දෙස බලන්නට ඉඩ ඇති මුත් පහත ඇති ප්‍රශ්න ද අසනු ඇත.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීම කෙතරම් අසීරු ද නැතහොත් කෙතරම් පහසුද?
ස්ථාවර උද්ධමන අනුපාතිකයකින් පමණක් එම ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකිය.
තනිකර මහ බැංකුවට පමණක් උද්ධමනය දමනය කළ හැකිද?
මූල්‍ය තත්වය සම්බන්ධයෙන් සෑහෙන තරම් බලපෑම් කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඇත.
එක් දින පොලී අනුපාතිකය, විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්, ස්ථාවර පහසුකම්, සහ සංචිත අවශ්‍යතා යන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තුළින් එයට, පිරිවැයට, මුදල්වලට සහ ණය පැවැත්මට, බලපෑම් කළ හැකිය. මූල්‍ය ප්‍රතිපත්ති කමිටුවටද, එහි තීරණ ගැනීමේ දී, මූල්‍යකරණය, විදේශ විනිමය, බදු ආදායම්, බාහිර සහ සැබෑ ආංශික කටයුතු හරහා කරුණු සැලකිල්ලට ගත හැකිය. මේවා හුදෙක් යාන්ත්‍රික ඒවා නොවනමුත් බැරෑරුම් තාක්ෂණික හා ප්‍රබල කර්තව්‍යයන්ය.
අස්වනු පාළු වූ විට, වැඩිපුර සහල් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවට කළ නොහැකිය. ගෝලීය ඛනිජ තෙල් මිල ඉහළ ගිය විට මහා බැංකුවට තෙල් නිෂ්පාදනය කළ නොහැකිය. අවහිර වූ සෑම සැපයුම් දාමයක්ම අලුත්වැඩියා කර බාධා ඉවත් කිරීම එයට කළ නොහැකිය. ආයෝජකයකු විසින් මුහුණපාන සෑම නිලධාරීවාදී බාධකයක්ම එයට ඉවත් කළ නොහැකිය. රාජ්‍ය හිමි ව්‍යවසායන්හි කාර්යක්ෂමභාවය පිළිබඳව හෝ මහ බැංකුවට තීරණය කළ නොහැකිය.
මුදල් නිකුත් කිරීම සහ වාණිජ බැංකුවල ණය තත්වයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සෑහෙන පාලනයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. බොහෝ ගනුදෙනු සිදුවන්නේ විවිධ වූ නානාප්‍රකාර මාර්ග ඔස්සේය. ඩිජිටල් ගෙවීම්, ණය කාඩ්පත්, කල්බදු, අවිධිමත් පිළිවෙළ සහ අනෙකුත් බලය පැවරුණු සහ බලය නොපැවරුණු මූල්‍ය ක්‍රියාකාරකම් අද දවසේ සංකීර්ණ ආර්ථිකය තුළ සිදුවෙමින් පවතී.
මූල්‍ය පද්ධතිය තවදුරටත් මහ බැංකුවෙන් මුද්‍රණය කරනු ලබන කාසි හා නෝට්ටුවලටද, වාණිජ බැංකුවලින් නිකුත් කරනු ලබන ණයවලට අදාළ කාරණයක් පමණක් නොවේ. එය සැලකිය යුතු තරම් සංකීර්ණ තත්වයකට පැමිණ තිබේ. එයින් මූල්‍ය ප්‍රතිපත්තියේ වැදගත්කම අඩු වන්නේ නැත. එයින් සිදුවන්නේ කාර්යභාරය වඩාත් සංකීර්ණ වීම පමණකි.
කුණාටුවට හසුවූ සරුංගලය:-
විනිමය හුවමාරු අනුපාතික, පාරිභෝගික භාණ්ඩ මිල ගණන්, භූ දේශපාලනික ආතති, දේශගුණික කම්පන, දේශීය සැපයුම් තත්ව, මූල්‍ය ප්‍රතිපත්තිය සහ ගෝලීය මූල්‍ය ප්‍රවණතා වැනි අවිනිශ්චිත බලවේගවල ආර්ථිකය එහා මෙහා තල්ලු වී යන අතර, උද්ධමනය රිසි පරිදි නිසි මගෙහි හසුරුවා ගන්නට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරමින් සිටී.
ලංකාදීප පුවත්පතේ “උද්ධමනයේ කතාව” යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පළවූ කාටුන් චිත්‍රයක් මම මෑතකදී දුටිමි. එවර මට මෙසේ සිතිණි. “ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය ප්‍රතිපත්තිය නම් සිහින් නූලෙන් අල්ලාගෙන කුණාටු කාලගුණය මධ්‍යයේ උද්ධමනය නම් සරුංගලය කුරියා ගසන්නට නොදී හසුරුවා ගන්නට උත්සාහ දරමින් සිටින්නේද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd