
ප්‍රශස්ත උද්ධමන ඉලක්කයක් තෝරා ගැනීම මූල්‍ය ආර්ථික විද්‍යාවේ චිරන්තන ගැටලුවක් වේ. වඩාත් හිතකර සංඛ්‍යාව තීරණය කිරීමට ශක්තිමත් පර්‌යේෂණමය සොයා ගැනීම් නොමැති කල මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවේ. බොහෝ දියුණු රටවල මධ්‍යම බැංකු සියයට සමීප පොදු උද්ධමන ඉලක්කයක් තෝරා ගෙන ඇත. මෙම ප්‍රවණතාව අනුගමනය කරමින් ඇතැම් විශ්ලේෂකයෝ, වර්තමානයේ පවතින දෙපසට සියයට දෙකක විචල්‍යක් සහිත සියයට පහේ උද්ධමන ඉලක්කය වෙනුවට, සියයට දෙකක පමණ ඉලක්කය ශ්‍රී ලංකාවට වඩාත් උචිත උද්ධමන ඉලක්කය වන්නේය යන මතය දරති.
මහ බැංකුවේ උද්ධමන ඉලක්කය සියයට පහේ සිට සියයට දෙක දක්වා පහත හෙළීම ආර්ථිකයේ ස්ථාවරභාවට හිතකර වේය යන මිථ්‍යාව, පසුගිය සතියේ ලිපියෙන් බැහැර කරන ලද්දේ, වර්තමානයේ පවතින සියයට පහේ ඉලක්ක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට ආර්ථික අවපාතය සහ සැපයුම පැත්තේ උද්ධමනීය පීඩනය අඩු කරන අවකාශයක් සපයන සාධකයක්ය යන පූර්ව නිගමනයේ පිහිටාය. පහළ උද්ධමන ඉලක්කයකට එරෙහි වීමට අදාළ කරුණු වෙනත් සාධකද සැලකිල්ලකට ගෙන මෙම ලිපියේ තවදුරටත් පැහැදිලි කෙරේ.
ශූන්‍යය සමීපයට පහත හෙලූ පොලී අනුපාතිකය
ඉහළ උද්ධමන අනුපාතිකයක් ඉලක්ක කර ගැනීමේ මූලික හේතුව, මූල්‍ය ප්‍රතිපත්තියේ දී පොලී අනුපාතය බින්දුව සමීපයට පහත වැටීමේ ගැටලුවෙන් මිදීමයි. එය නාමික පොලී අනුපාතික සෘණාත්මක විය නොහැකිය යන කාරණයෙන් ඉස්මතු වන්නකි. නාමික පොලී අනුපාතයෙන් උද්ධමන අනුපාතිකය අඩු කළ විට, උද්ධමනය උදෙසා සකසනු ලැබූ ණය ගැනීමේ සැබෑ පිරිවැය වූ සැබෑ පොලී අනුපාතිකයට එය සමාන වේ. ෆිෂර් බල පෑමට (Fisher Effect); අනුව නාමික පොලී අනුපාතය තීරණය කරනු ලබන්නේ අපේක්ෂා සහගත උද්ධමන අනුපාතය, සමතුලිත සැබෑ පොලි අනුපාතයට එකතු කිරීමෙනි. එබැවින් පහළ උද්ධමන ඉලක්කයකින් සාමාන්‍ය පදනම් රේඛීය නාමික පොලී අනුපාතිකය හකුළුවා දමයි. එවිට ආර්ථික අවපාතයකදී දළ දේශීය නිෂ්පාදනය, උත්තේජනය කරනු වස් මහ බැංකුවට ඇත්තේ බින්දුව දක්වා පහත වැටීමට පෙර, උද්ධමන අනුපාතික කපා හැරීම සඳහා වූ ඉතා කුඩා අවකාශයකි. පහළ උද්ධමන ඉලක්කයක් මූල්‍ය ප්‍රතිපත්තිය, ඵලදායි නොවන කේන්සියානු වර්ගයේ ද්‍රවශීලතා උගුලක් නිර්මාණය වීමට තුඩුදේ.
අවධමනීය සර්පිලය
අතිශය පහළ උද්ධමන ඉලක්කයකින්, පොලී අනුපාත ශූන්‍යයට සමීප වන තරමට සහ සෘණ තත්වයක් කරා තල්ලු කර හැරීම නිසා උද්ධමන ඉලක්කයේ අවම සීමාවක් නිර්මාණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ පොලී යනුපාතිකයේ ඉහළ නැගීමක් සිදුවී, අවධමනීය පක්ෂග්‍රාහී බවක් සහ ආර්ථිකය එක තැන ඇන හිටීමක් සිදුවේ. ඉහළ පොලී අනුපාතිකයකින් මූල්‍යකරණය ඔරොත්තු නොදෙන තරමට මිලාධික වීමත්, එම නිසා ණය ගැනීම, ආයෝජනය, සහ පාරිභෝගික වියදම් සීමා වීමත් සිදුවේ.
මිල ගණන් පහළ යන වාතාවරණයකදී, පාරිභෝගිකයෝ කල්පවත්නා භාණ්ඩ මිලදී ගැනීම කල්දමමින් අනාගතයේදී තව තවත් මිල පහළ යාම් අපේක්‍ෂාවෙන් පසුවෙති. සමස්ත ඒකරාශී ඉල්ලුම පහත වැටීම, ව්‍යාපාරවලට තවදුරටත් මිල පහත දැමීමට බල කරමින්, නිෂ්පාදනය පහත වැටීමේ, රැකියා අහිමිවීමේ සහ වැටුප් එක තැන රැඳීමේ දුෂ්ට වක්‍රයක් සැකසීමට අවකාශ එවිට සැකසේ. මෙම සන්දර්භය තුළ සියයට පහක මධ්‍යස්ථ උද්ධමන ඉලක්ක කිරීම ආර්ථික වර්ධනයට වැඩදායි වනු ඇත.
ඵලදායීතා වර්ධනයට බලපාන ව්‍යුහාත්මක සාධක
අඩු උද්ධමන ඉලක්ක කිරීමේදී සංරචක ඔස්සේ ඵලදායිතා වර්ධනය පිණිස එය නිතරම පූර්ව අවශ්‍යතාවක් වන බව නිතර සඳහන් කෙරේ. අඩු උද්ධමනයෙන් පොලී අනුපාතවල, විනිමය අනුපාතිකවල අස්ථාවරභාවය සහ වෙළෙඳපොළ අවිනිශ්චිත භාවය අඩු කෙරෙන බවට ඔවුහු තර්ක කරති. එම තත්වය තුළ සම්පත් නොනිසි ලෙස බෙදා හැරීම වැළකී කොම්පැනිවලට දීර්ඝ කාලීන ආයෝජනවල යෙදෙමින්, වෙළෙඳාෙම් දී කෙටිකාලීන සමපේක්ෂණ චේතනාවෙන් කටයුතු කරනවාට වඩා කාර්යක්ෂමතාව සහ නවීකරණය කෙරේ අවධානය යොමු කරමින් කටයුතු කිරීමට දිරිමත් කෙරේ. විවේචකයන් කියන ආකාරයට එම අයුරින් අඩු උද්ධමනය කාර්යක්ෂමතා වර්ධනයට උපකාරී වේ.
කෙසේ වුවද ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක උද්ධමනය, දේශගුණ තත්වය හේතු කරගෙන සිදුවන දේශීය ආහාර සැපයුමේ අවහිරතා සහ ගෝලීය වශයෙන් තීරණය වන තෙල් මිල උච්චාවචන වැනි බාහිර කම්පනවලට භාජන වන්නකි. එවැනි දේ හේතු කරගෙන ඇතිවන උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයෙන් තොර නිසා, අඩු උද්ධමන ඉලක්කය, ඵලදායිතා වර්ධනයට අවශ්‍ය වන මිල ස්ථාවරත්වය පැහැදිලි ලෙස තහවුරු කෙරෙන්නේ නැත.
වේගයෙන් වර්ධනය වන දැනුම පදනම් කරගත් ආර්ථික පවතින පසුබිම තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල, මිල ස්ථාවරත්වය හැරුණුකොට ඵලදායිතාවට, අහිතකර ලෙස බලපාන වෙනත් සාධක බොහෝය. දේශපාලන අස්ථාවරභාවය, නිතර වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති, කම්කරු අසහන, මානව ප්‍රාග්ධනය හිඟකම, යටිතල පහසුකම්වලට අදාළ අවහිරතා, පර්‌යේෂණ හා සංවර්ධනය අඩුවීම සහ තාක්ෂණය හා නවීකරණ දුර්වලතා, එම සාධක අතර වේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට පැරණි පන්නයේ නිෂ්පාදන ක්‍රියාදාම ලාබ ශ්‍රමය මත රැඳී පවතිමින් පසුගාමී තාක්ෂණයෙන්, යුතුව දළ දේශීය නිෂ්පාදන වර්ධනයේ වේගය මන්දගාමී කරනු ලබයි. පර්‌යේෂණ හා සංවර්ධන කටයුතු උදෙසා රටේ වියදම, දළ දේශීය නිෂ්පාදනයෙන්, සියයට දශම එක (0.1% ) තරම් අඩු ප්‍රමාණයකි. එය කෙතරම් අවම ප්‍රමාණයක් ද යන්න, මැලේසියාවේ සියයට 1 ක්, ද , තායිලන්තයේ සියයට 1.2 ක්ද, සිංගප්පූරුවේ සියයට 2.2 ක් ද වූ එම ප්‍රතිශතය සමග සසඳා බැලූ කල පැහැදිලි වේ. අඩු උද්ධමනය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට අවශ්‍ය වන්නක් වන අතරම, එය වර්ධනය වේගවත් කිරීමට ප්‍රමාණවත් නොවන්නකි. ආර්ථිකය තාක්ෂණය වෙත, සහ නවීකරණය මූලික කරගත් වර්ධන මාවතකට, වර්තමානයේ පවතින යල් පැනගිය කම්හල් මූලික කරගත් වර්ධනයෙන් මාරු කිරීම සඳහා, විද්‍යාවට තාක්ෂණයට හා නවීකරණයට ප්‍රමුඛත්වය දිය යුතු වන්නේය.
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවලට, දරා ගත හැකි උද්ධමනය ඉහළ උද්ධමනයකි
සම්පත් සීමිත වූ තත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල්, ශ්‍රමයට පවතින පමණට වැඩි ඉල්ලුම සහ සංවර්ධනයේ මූලික අවධියේදී අමුද්‍රව්‍යවලට පවතින අධික ඉල්ලුම ඉස්මතු වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා සිදුවන ඉහළ උද්ධමනයක් දරා ගැනීමට පෙළඹෙන්නෝය. ඒ අනුව සියයට 7 සහ සියයට 11 උද්ධමන සීමාව, සංවර්ධනය වෙමින් පවතින රටවල, දළ දේශීය නිෂ්පාදන වර්ධනයට උපකාරී වන, දරා ගත හැකි කලාපයේ උද්ධමන සීමාව ලෙස සැලකේ. ඊට මුළුමනින් වෙනස් වූ සංවර්ධිත රටවල සියයට 1 සිට සියයට 3 ක පහළ උද්ධමන සීමාවක් ඉලක්ක කර ගන්නේ, තාක්ෂණය හා නවීකරණය වඩාත් කාර්යක්ෂමව ඔවුන්ට අඩු පිරිවැයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට හැකියාව ලබාදෙන නිසාය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් උපකාරී වන උද්ධමන කලාපය සියයට 1 සහ සියයට 7 සීමාව තුළට වැටෙන්නේ ආයෝජනය සහ වර්ධනය පෝෂණය කරනු පිණිසය. සියයට 11 ඉක්මවා යන පරිහානීය උද්ධමන කලාපය දළ දේශීය නිෂ්පාදන වර්ධනයට අහිතකර වූවකි.
උද්ධමනය සහ වර්ධනය අතර හුවමාරුව
නිතරම වර්ධනය සහ ඊට සම්බන්ධ අනෙකුත් අංග අධෛර්යවත් කරන්නාවූ, අඩු උද්ධමන නිර්මාණය වන ප්‍රතිපත්ති පවතින විට, උද්ධමනය සහ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය අතර ඇතිවන හුවමාරුව සාර්ව ආර්ථික උභතෝකෝටිකයක් බවට පත්වේ. කෙටි කාලයේදී උද්ධමනය සහ වර්ධනය අතර ධනාත්මක වූ සහසම්බන්ධතාවක් ඇතිවේ. උදාහරණයකට මහ බැංකුවෙන් කපා හරින පොලී අනුපාතයකින් වර්ධනය උත්තේජනය විය හැකිය. ඒ අතරම එවැනි වර්ධනීය ප්‍රගමනයක්, ඉල්ලුම ඒකරාශී වීම හේතු කරගෙන සිදුවෙන උද්ධමනය ඉහළ යාම නිසා වියැකී යයි. එම නිසා දීර්ඝ කාලයේදී, දළ දේශීය නිෂ්පාදන වර්ධනය සහ උද්ධමනය අතර හුවමාරුව අත්‍යවශ්‍ය ලෙස සිදුවන්නේ නැත.
මලානික වූ වර්ධනීය අපේක්ෂා
2023 දී අනුගමනය කරනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය සෑහෙන තරමේ ස්ථාවරභාවයක ලක්ෂණ පෙන්නුම් කළේය. අපනයන පසුබෑම්, ආනයනය සඳහා වෙන් කරන මුදල් සීමා කිරීම්, මන්දගාමී ඵලදායිතාවර්ධනය පමා කරනු ලැබූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සාර්ව ආර්ථික අස්ථාවරභාවය හේතු කරගෙන රටේ වර්ධනීය විභවතාව දරුණු ලෙස සීමා කර තිබිණි. නිල මූලාශ්‍රවලට අනුව 2026 අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට තුනකි. 2027 සියයට තුනයි දශම දෙකකි. 2028, සියයට තුනයි දශම එකකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා මෑතකදීම නිකුත් කළ වාර්තාවේ, ශ්‍රී ලංකාවේ වර්ධනීය විභවතාව මුදා හරිනු පිණිස වඩා පුළුල් වූ, ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කර තිබේ. ප්‍රමුඛතාව දිය යුතු ක්ෂේත්‍ර ලෙස, වෙළෙඳාම නිදහස් කිරීම, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසායවල කාර්යක්ෂමතාව නැංවීම, ශ්‍රම වෙළෙඳපොළේ වංචා සහගත හැසිරවීම් අවම කිරීම, දේශගුණ බාධකවලට ගොදුරු වීම සමනය කිරීම, සමාජ ආරක්ෂණ ජාල ඉලක්ක කර ආවරණය කිරීම වැඩි දියුණු කිරීම ආදිය ඇතුළත් වේ.
ආර්ථික අවපාත වළක්වා ගනු පිණිස අවශ්‍ය මූල්‍යමය උත්තේජන පිරිනමන්නා වූ මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගනු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට යම් තරමක නම්‍යතාවක් අවශ්‍ය වේ. විවේචකයන් විසින් නිර්දේශ කරන සියයට දෙකක පහළ උද්ධමන ඉලක්කය, ප්‍රතිපත්තිමය අවකාශය සීමා කරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදන වර්ධනය මන්දගාමී වනු ඇත. එම නිසා ඔවුන් විසින් යෝජනා කරනු ලබන උද්ධමන ඉලක්කය පහළ දැමීම සාධාරණීකරණය වන්නේ නැත.
2026 ජූලි 07 , Daily FT හි පළවූ
Why flexible inflation targeting at 5% suits Sri Lanka better than 2% (part ii ) ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd