සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහ SLTDA සභාපති බුද්ධික හේවාවසම් යන මහත්වරු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අවස්ථාව 
(ඡායාරූපය - නිසල් බදුගේ) 


භානුක අමරසිංහ


මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ වුවත් 2026 වසර තුළදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 25 සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසර තුළ සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක් උපයා ගත හැකි වනු ඇතැයිද එම අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

සංචාරක කර්මාන්තයේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය. සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් මහතා සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය නිරෝෂන ඇතුළු නිලධාරීහු පිරිසක්ද ඊට සහභාගි වූහ.

“වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. යුද ගැටුම් මැද අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර 2,000 කට ආසන්න සංඛ්‍යාවක් සමගින් මෙම පැමිණීම් කැපී පෙනෙනවා. වසර ආරම්භයේදී අපි පුරෝකථනය කළ ආකාරයට යහපත් තත්වය යටතේ සංචාරකයන් ලක්ෂ 30ක් අපේක්ෂා කළා. එහෙත් මේ පවතින තත්වයත් සමගින්ම එය ලක්ෂ 25ක් වේවි කියන අදහසේ අපි ඉන්නවා.’’

විශේෂයෙන්ම අගෝස්තු මාසයේදී ආරම්භ කරන අන්තර්කාලීන ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සහ ගුවන් සේවා වැඩි වශයෙන් මෙරට වෙත සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමගින්ම මෙම ඉලක්කය වෙත ළගා විමට අවස්ථාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපේ ප්‍රධාන ගෝලීය අලෙවිකරණ වැඩසටහන 2027 වසර මුලදී ආරම්භ කරන්න සැලසුම් කරමින් ඉන්නේ. එය ඉදිරි වසර 3ත් 5ත් අතර කාලයකට ක්‍රියාත්මක වේවි. ඒ සඳහා වන වියදම ඩොලර් බිලියන 4-5ත් අතර අගයක් ගන්නවා. ඊට පෙර අන්තර්කාලීන ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන යටතේ දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙලා තිබෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉලක්ක කරගනිමින් ලබන අගෝස්තු පළමු වැනිදා සිට අපි ආරම්භ කරනවා. ඒ වගේම වියට්නාම ගුවන් සේවය, වියෙට්ජෙට්, ජෙට්ස්ටාර් සහ ෆ්‍රෙන්ච් බී ඇතුළු අලු‍ත් ගුවන් සේවාවල පැමිණීම සහ දැනට ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය ගුවන් සේවය, එමිටේර්ස් ගුවන් සේවය සහ කටාර් ගුවන් සේවය ගුවන් වාර වැඩි කිරිමත් සමගින් මේ සංචාරක ඉලක්කය වෙත යාමට හැකිවේවි කියන බලාපොරොත්තුව තිබෙනවා.”