ශ්‍රී ලංකාවේ ජෛව බලශක්ති ‍ක්ෂේත්‍රයේ මහාපරිමාණ ආයෝජනයක්  කිරීමට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ආයෝජකයන් පිරිසක් තීරණය කර තිබේ. 
කර්ණාටක ප්‍රාන්ත ජෛව බලශක්ති සංවර්ධන මණ්ඩලයේ සභාපති එස්.ඊ. සුධීන්ද්‍රා මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පැවැති අතර එහිදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
එම හමුවේදී කර්ණාටක ප්‍රාන්තයේ ජෛව බලශක්තිය සංවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන්ද සභාපතිවරයා සහ මහ කොමසාරිස්වරයා අතර එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවක් පැවැති බවද මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය. සභාපතිවරයා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති හමුවේදී දෙරට අතර තාක්ෂණය හුවමාරු කර ගැනීම, වෙළෙඳ සහයෝගීතාව සහ ජෛව බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
සුධීන්ද්‍රා මහතා එහිදී පෙන්වා දී ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ 2009 වසරේදී ජෛව ඉන්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බවත් එලෙස ජෛව ඉන්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ ඉන්දියාවේ ප්‍රථම ප්‍රාන්තය කර්ණාටක ප්‍රාන්තය බවත්ය.
 2010 වසරේදී ස්ථාපිත කළ ජෛව බලශක්ති සංවර්ධන මණ්ඩලය කර්ණාටක ප්‍රාන්තයේ ජෛව බලශක්තිය පිළිබඳ පර්‌යේෂණ කටයුතු  කිරීම, ජෛව බලශක්තිය නිෂ්පාදනය සහ වාණිජකරණය පිළිබඳව වගකීම බාර ප්‍රධානතම බලධාරියා බවද සුධීන්ද්‍රා මහතා එහිදී පවසා ඇත.
එහිදී මෙරට ජෛව බලශක්තිය සංවර්ධනය කිරීම සඳහා රජයේ සහාය ලබාගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ඉල්ලමින් එස්.ඊ. සුධීන්ද්‍රා මහතා මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට ලිපියක්ද බාරදී තිබේ.