• ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා, විශාලතම විදේශ ආයෝජන ප්‍රභවය සහ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේ ඉන්දියාව
  • ඖෂධ, ඉංජිනේරු නිෂ්පාදන, ඇඟලු‍ම් සහ රෙදිපිළි, ආහාර හා කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම යටිතල පහසුකම් යන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් රැසක් මෙම නියෝජිත පිරිසට ඇතුළත්

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ව්‍යාපාරික හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනයේ (FIEO) ප්‍රධානත්වයෙන් යුත් 31 දෙනකුගෙන් සමන්විත විශේෂ ව්‍යාපාරික නියෝජිත පිරිසක් පසුගිය ජූලි 8 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූහ.

ඖෂධ, ඉංජිනේරු නිෂ්පාදන, ඇඟලු‍ම් සහ රෙදිපිළි, ආහාර හා කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම යටිතල පහසුකම් යන විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් රැසක් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

මෙම සංචාරය අතරතුර, නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූ අතර, එහිදී මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකය සහ දෙරට අතර පවතින ආයෝජන අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

මීට අමතරව, ආහාර සහ කෘෂිකාර්මික අංශයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී ක්ෂේත්‍රයට අදාළ ගැටලු‍ සහ ඉදිරි අවස්ථා පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ඉන්දු-ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ILCCI), ඇක්සස් සමූහ ව්‍යාපාරය (Access Group) සහ GOPIO ආයතනය සම්බන්ධීකරණය කළ වෙළෙඳපොළ සංගම්වල නියෝජිතයන් සමගද ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.

දෙරටේ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී “India–Sri Lanka Trade Connect” නමින් විශේෂ ව්‍යාපාරික හමුවක් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරී සංසදය (ICF), ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE), ඉන්දු-ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය  (ILCCI) සහ ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE)  වැනි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සංවිධාන රැසක් සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා, විශාලතම විදේශ ආයෝජන ප්‍රභවය සහ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේ ඉන්දියාව බවයි.

ඉන්දීය වාණිජ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2025-26 කාලසීමාව තුළ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක් පමණ වී ඇත. විශේෂයෙන්ම පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට කරන අපනයන ප්‍රමාණය සියයට 160 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

පිරිපහදු කළ ඛනිජ තෙල්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැනි දෑ ශ්‍රී ලංකාවට සැපයීමේදී විශ්වාසවන්ත සහකරුවකු ලෙස ඉන්දියාව දිගින් දිගටම කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම සංසදයේදී, ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනය (FIEO) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE)  අතර 2025 අගෝස්තු 19 වන දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම  (MoU)  නිල වශයෙන් හුවමාරු කර ගැනීම ද සිදු විය. මෙමගින් දෙරට අතර තොරතුරු හුවමාරුව, ආයෝජන ප්‍රවර්ධනය සහ නව ව්‍යාපාරික ජාල ගොඩනැගීම ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම  FIEO නියෝජිත පිරිසේ සංචාරය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා නව මානයකට ඔසවා තැබීමට සමත්ව ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.