• ප්‍රතිශතාංක ±2 ක වගවීමේ ආන්තිකයක්ද මෙම ඉලක්කය සතුයි 

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහාත් සියයට 5ක් ලෙස නිර්මාණය කෙරෙන බව මහ බැංකුව පවසයි. 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය සියයට 5ක මට්ටමේම පවත්වා ගෙන යාමට ඉලක්ක කර ගත යුතුව තිබේ. එසේම ප්‍රතිශතාංක ±2 ක වගවීමේ ආන්තිකයක්ද මෙම ඉලක්කය වෙත ලබාදී තිබේ. 

මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අත්සන් තැබුණු නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම ප්‍රකාරය මෙම ඉලක්කය නිර්මාණය කෙරී තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (4) වගන්තියට අනුකූලව, උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිති සෑම වසර තුනකට වරක් හෝ සුවිශේෂී අවස්ථානුගත තත්වයක් මත අවශ්‍ය වන්නේ නම් ඊට අඩු කාල පරාසයකින් සමාලෝචනය කෙරේ. 

ඒ අනුව 2023 ඔක්තෝබර් මාසයේදී අත්සන් තබන ලද පළමු මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙන් අනතුරුව නියමිත වූ සමාලෝචනය 2026 වවසරේදී සිදු කෙරී තිබේ.