අම්බලන්තොට - සනත් ගමගේ
ඉතිහාසයේ පළමු වරට වරිපනම් බදු මුදල් ලෙස රුපියල් අට කෝටියකට වැඩි මුදලක් එකවර හම්බන්තොට මහ නගර සභාවට අය වී ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ. ගාමිණී (ස.ජ.බ.) මහතා සඳහන් කළේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් 2025 වසරේ අදාළ දෙවැනි හා තුන්වැනි කාර්තු සඳහා හම්බන්තොට මහ නගර සභාවට අයවිය යුතු වරිපනම් බදු මුදල් ලෙස රුපියල් අට කෝටි 52 ලක්ෂ අනූ දෙදහස් පන්සිය විසි නමයක මුදලක් (8,52,92,529) හම්බන්තොට මහ නගර සභාවේ ගිණුමට තැන්පත් කර ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ. ගාමිණී මහතා කීය.
හම්බන්තොට මහ නගර සභාවට ජාත්‍යන්තර වරායෙන් අයවිය යුතු වරිපනම් බදු මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වූ හෙයින් මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දේපළ තහනම් කිරීමට හා අත්පත් කර ගැනීමට අදාළ රාජකාරි කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර වරාය පාර්ශ්වය අභියාචනාධිකරණයේ තහනම වළක්වාලීමේ නියෝගය ගෙන තිබූ අතර එම නඩුකරය සඳහා හම්බන්තොට මහ නගර සභාව පාර්ශ්වය ද පෙනී සිටි බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
දෙපාශ්වයේ කරුණු දැක්වීම සිදු වූ අතර අභියාචනාධිකරණයේ නඩු තීන්දුව ඉකුත් මස (15) ප්‍රකාශයට පත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දේපළ අත්පත් කර ගැනීමට හම්බන්තොට මහ නගර සභාවට අවසරය ලබාදීම සිදු වූ බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව හම්බන්තොට මහ නගර සභාවේ අදාළ නිලධාරීන් දේපළ අත්පත් කර ගැනීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ගොස් තිබූ අතර අදාළ වරිපනම් බදු මුදල් ගෙවීම සිදු කරන බවට ලිඛිත දැනුම්දීමක් සිදු කර තිබිණි.
2025 වසරේ හතර වැනි කාර්තුව සඳහා වරිපනම් බදු මුදල් තවදුරටත් ගෙවීමට නියමිතව ඇති අතර 2026 වසරේ වරිපනම් බදු ගෙවීම සම්බන්ධව සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන්ද විරෝධයක් ද පළ කර ඇති බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
හම්බන්තොට මහ නගර සභාවට හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් අයවිය යුතු වරිපනම් බදු මුදල් අය කර ගැනීම සම්බන්ධව හිටපු නගරාධිපතිවරුන් වන එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු, ගාමිණී ශ්‍රී ආනන්ද යන මහත්වරුන්ද විශාල පරිශ්‍රමයක් දැරූ බව ද වත්මන් නගරාධිපතිවරයා සඳහන් කළේය.
හම්බන්තොට මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා මත මෙම වරිපනම් බදු මුදල් සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේ දී යෙදවීම සිදු කරන බවද නගරාධිපති ඩී.ඒ. ගාමිණී මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd