ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (National Cleaner Production Centre – NCPC) වෙතින් Carbon Neutral සහතිකය හිමිකර ගැනීමට සමත් වී තිබේ. පරිසර හිතකාමී හා වගකීම්සහගත ලෙස ව්‍යාපාරික වටිනාකම් ගොඩනැංවීමේ දැක්ම තහවුරු කරමින් හිමි කරගත් මෙම සහතිකය, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ තිරසාර ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

දශක තුනකට අධික කාලයක් පුරා විවිධ කර්මාන්ත සහ වෙළෙඳපොළේ ව්‍යාපාර ගොඩනගමින් සහ පුළුල් කරමින් පැමිණි ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය සඳහා මෙම සහතිකය හුදෙක් පාරිසරික සන්ධිස්ථානයකට පමණක් සීමා නොවේ. මෙය අනාගතයේදී සමූහයේ වර්ධනය තවදුරටත් ශක්තිමත් කරමින්, පාරිසරික වගකීම, ඉහළ සම්පත් කාර්යක්ෂමතාව සහ වගකීම්සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරියට යාම සඳහා ගත් සැලසුම්ගත පියවරක් ලෙස සැලකේ.

1995 වසරේ ආරම්භ වූ ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්, අද වන විට ව්‍යාපාරික ක්ෂේත්‍ර පහක් තුළ සමාගම් 17කට වැඩි සංඛ්‍යාවක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර, 1,800කට අධික සේවක පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයකි.

Carbon Neutral සහතිකය ලබාගැනීමේ ක්‍රියාවලියේදී, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්හි ආයතනික Greenhouse Gas Emissions සහ පාරිසරික ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කෙරිණි. එහිදී ආයතනයේ බලශක්ති හා ජල පරිභෝජනය, ප්‍රවාහන ක්‍රියාවලි, අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම අනෙකුත් මෙහෙයුම් කටයුතු ද සවිස්තරාත්මකව ඇගයීමට ලක් කෙරිණි. මෙම ක්‍රියාවලියෙන් සමූහයට සිය පාරිසරික බලපෑම පිළිබඳ දත්ත මත පදනම් වූ නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ අතර, Carbon Neutral තත්වය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනාගෙන ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව සැලසුණි.

මෙම සන්ධිස්ථානය, සමූහයේ ව්‍යාපාරික තීරණ සහ මෙහෙයුම් ක්‍රියාවලි තුළ තිරසාරභාවයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය දක්වන කැපවීම පිළිබිඹු කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් හි සමූහ අධ්‍යක්ෂ අබ්දුල්ලා කාසිම් මහතා මෙසේ සඳහන් කළේය. “මෙම සහතිකය හිමිකර ගැනීම ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක්. අපගේ සමූහයේ මෙහෙයුම් මගින් ඇතිවන පාරිසරික බලපෑම නිවැරදිව අවබෝධ කරගෙන එය අවම කිරීමටත්, සමූහය පුරා වගකීම්සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප දක්වන කැපවීම මෙයින් පිළිබිඹු වෙනවා. එසේම, අපි මෙය අවසානයක් ලෙස නොව, ඉදිරියේදී තවත් තිරසාර ක්‍රියාමාර්ග ගෙන යාම සඳහා ගොඩනගන ශක්තිමත් පදනමක් ලෙස සලකනවා,”