• 2026 දෙවැනි කාර්තුවේදී ණය ලබාදීම් සියයට 24.9ක වර්ධනයක්

2026 වසරේ පළමු භාගයේදී ආයතනික අංශය වෙත ලබා දුන් ණය සැලකිය යුතු මට්ටමින් අඛණ්ඩව ප්‍රසාරණය වී ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 දෙවැනි කාර්තුව අවසන් වනවිට වාර්තා වූ සියයට 16.3 ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂව, 2026 වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙම ණය ලබාදීම සියයට 24.9කින් වර්ධනය වී තිබේ. 

මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ස්ථායිතා විවරණය 2026 වාර්තාව තුළ මෙම කරුණු සටහන්ව ඇත. ඒ අනුව මෙහිදී 2026 දෙවැනි කාර්තුවේදී ලබාදුන් සමස්ත මූල්‍ය අංශයේ ණය සැපයුමෙන් සියයට 58.2ක් ආයතනික අංශයේ ණය ලෙස හඳුනාගෙන තිබේ. ඒ අතරින් සියයට 96.2ක් බැංකු අංශය මගින් ලබාදී ඇති අතර, බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ දායකත්වය සියයට 3.8 ක අගයක් ගෙන තිබේ. 

මෙලෙස ණය ලබාදීම අඛණ්ඩව ප්‍රසාරණය වුවද, 2026 වසරේ පළමු භාගය තුළ ආයතනික අංශයේ ණය ආපසු ගෙවීම් තත්වය යහපත් මට්ටමක පැවතුණු බවද මහ බැංකුව පවසයි. ඒ අනුව හිඟ ගෙවීම් නොමැති ණය සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 79.2ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 පළමු භාගයේදී එය සියයට 75.2ක් ලෙස සටහන්ව තිබුණි. 

මේ අතර බැංකු අංශයේ ණයගැනුම්කරුවන්ගේ ණය ආවදානම් ව්‍යාප්තිය බැංකු නොවන මූල්‍ය ආයතන අංශයට වඩා හිතකර මට්ටමක පැවතුණු බවත් මහ බැංකුව සඳහන් කරයි.