2024 ජනාධිපතිවරණය පැවැත්වුණේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් සිටි අවස්ථාවකය. එහෙත් ආර්ථිකයේ යම් යථා තත්වයට පත්වීමක් ආරම්භ වී තිබුණද, එහි ප්‍රතිලාභ බොහෝ පවුල්වලට එදා දැනී තිබුණේ නැත. ආදායම් අඩුවීම, රැකියා පිළිබඳ අවිනිශ්චිතතාව, ඉහළ මිල ගණන් සහ දෛනික වියදම්වල බර ජනතාවට තවමත් දැනෙමින් තිබිණි.

මෙම ලිපියෙන් සලකා බලන්නේ 2024දී පැවති තත්වය සහ 2026 වනවිට දක්නට ලැබෙන වෙනස්කම් අතර වෙනසයි. ආණ්ඩුවේ දෙවසරක කාර්යසාධනයත්, ජනතාවට දුන් පොරොන්දුත් මේ පසුබිම තුළ විමසා බැලේ. ආර්ථිකය ස්ථාවර වූවාද යන්න පමණක් මෙහිදී සලකා බැලීම ප්‍රමාණවත් නැත. එම ස්ථාවරත්වයෙන් ජනතාවගේ ජීවිතවලට සැබෑ සහනයක් ලැබී තිබේද යන්නද විමසිය යුතුය.

2024දී රට පැවති තත්වය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022දී සියයට 7.3කින්ද, 2023දී තවත් සියයට 2.3කින්ද හැකිලිණි. 2024දී එය සියයට 5කින් වර්ධනය විය. මෙය වැදගත් යථා තත්වයට පත්වීමක් විය. ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේත්, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සේවාවලත් වර්ධනය ඊට දායක විය. එහෙත් වසරක වර්ධනයකින් පෙර වසර දෙකේ සිදුවූ පාඩු මකා දැමිය නොහැකි විය. පවුල්වල ආදායම්, ඉතිරිකිරීම්, රැකියා පිළිබඳ විශ්වාසය සහ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වී තිබුණේ නැත.

ආර්ථිකය වර්ධනය වීම වැදගත්ය. එහෙත් එම වර්ධනයේ ප්‍රතිලාභ හැමෝටම එක සේ ලැබෙනවාද යන්න එයින් පමණක් දැනගත නොහැකිය. රටේ සමස්ත නිෂ්පාදනය සහ සේවා වටිනාකම මනින දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියද, පවුල්වලට එයින් ලැබුණු ප්‍රතිලාභය කුමක්දැයි වෙනම බැලිය යුතුය. 2024දී බොහෝ දෙනා තවමත් දුප්පත්කම, ඉහළ ජීවන වියදම, අඩු වූ වැටුප් සහ සීමිත රැකියා අවස්ථා සමග පොරබදමින් සිටියහ.

ආර්ථික අර්බුදයේ බර තවමත් ජනතාව මත

දුප්පත්කම යනු ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට කෙතරම් ලැබුණාද යන්න පෙන්වන වැදගත් මිනුමකි. ලෝක බැංකුවේ ඇස්තමේන්තුව අනුව, 2024දී ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 24.5ක් දුප්පත්කමට මුහුණ දී සිටියහ. එය 2019දී පැවති මට්ටමට වඩා දෙගුණයකට ආසන්නය. 2024දී ආර්ථිකය යථා තත්වයට පත්වීමත් සමග දුප්පත්කම යම් පමණකට අඩු වුවද, එයින් පවුල්වල ජීවන තත්වය පුළුල් ලෙස යහපත් වූ බවක් අදහස් නොවන බව ලෝක බැංකුව පෙන්වා දුන්නේය. මෙම ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ පුද්ගලයකුගේ දෛනික වියදම ඇමෙරිකානු ඩොලර් 3.65ට අඩුද යන්න මත පදනම් වූ ජාත්‍යන්තර මිනුමක් අනුවය.

රැකියා තත්වයද රැකියා විරහිතයන්ගේ සංඛ්‍යාවෙන් පමණක් මැනිය නොහැකිය. 2024දී රැකියා විරහිත අනුපාතය සියයට 4.4ක් වූ අතර, වැඩ කළ හැකි වයසේ ජනතාවගෙන් රැකියාවක නිරත වූ හෝ රැකියාවක් සොයමින් සිටි අයගේ ප්‍රතිශතය සියයට 47.4ක් විය. කාන්තාවන්ගේ රැකියා සහභාගිත්වය විශේෂයෙන් අඩු මට්ටමක පැවතිණි. එමෙන්ම, 2023 දෙවැනි කාර්තුවේ සියයට 46ක් වූ රැකියාවල නිරත ජනගහනයේ ප්‍රතිශතය 2024 දෙවැනි කාර්තුව වනවිට සියයට 45.5 දක්වා අඩු වූ බව ලෝක බැංකුව වාර්තා කළේය. එබැවින් රැකියා විරහිත අනුපාතය අඩුවීම පමණක් බලා රැකියා වෙළෙඳපොළ හොඳ තත්වයක ඇතැයි තීරණය කළ නොහැකිය. රැකියාවක් සොයන එක අත්හැර දැමූ අය, තිබෙන රැකියාවල ස්ථාවරත්වය සහ ලැබෙන වැටුපද සැලකිල්ලට ගත යුතුය.

වැටුප්වලින් ලැබෙන සැබෑ මිලදී ගැනීමේ හැකියාවද මෙවැනිම තත්වයක් පෙන්වයි. ලෝක බැංකුවේ දත්ත අනුව, 2021 සිට 2024 දක්වා පෞද්ගලික අංශයේ සැබෑ වැටුප් සියයට 16.9කින්ද, රාජ්‍ය අංශයේ සැබෑ වැටුප් සියයට 22කින්ද අඩු වී තිබිණි. මෙයින් අදහස් වන්නේ වැටුප රුපියල්වලින් කොපමණද යන්නට වඩා, එම මුදලින් මිලදී ගත හැක්කේ මොනවාද යන්න වැදගත් බවයි. 2024දී සැබෑ වැටුප් 2019 මට්ටමට වඩා තවමත් පහළින් තිබිණි. ඒ නිසා වැටුප් වැඩි කිරීම සහ පවුල්වල වියදම් බර අඩු කිරීම පිළිබඳ පොරොන්දු ජනතාවට ඉතා සමීප වූ කරුණු විය.

උද්ධමනය අර්බුදයේ උච්චතම කාලයට වඩා සැලකිය යුතු ලෙස අඩු වීම වැදගත් දියුණුවකි. එහෙත් උද්ධමනය අඩුවීමෙන් අදහස් වන්නේ මිල ගණන් ඉහළ යන වේගය අඩු වූ බවයි. භාණ්ඩවල මිල පෙර තිබූ මට්ටමට පහළ ගිය බව එයින් අදහස් නොවේ. 2021 සිට 2024 දක්වා ආහාර මිල දෙගුණයකටත් වඩා වැඩි විය. ඒ නිසා පවුල්වලට ආහාර, ප්‍රවාහනය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය දේ සඳහා තවමත් වැඩි මුදලක් වැය කිරීමට සිදුවිය. උද්ධමනය අඩු වූ බව දැනුණත්, ජීවිතය වඩා ලාබදායී වූ බව බොහෝ පවුල්වලට නොදැනුණේ මේ නිසාය.

මැතිවරණ පොරොන්දු සහ රටේ මුදල් තත්වය

2024 වනවිට රජය රටේ මුදල් තත්වය යළි ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටියේය. ඒ සඳහා බදු ආදායම වැඩි කිරීම, වියදම් පාලනය කිරීම සහ රාජ්‍ය ව්‍යාපාරවල පාඩු අඩු කිරීම වැනි පියවර ගෙන තිබිණි. මේවා ආර්ථිකය සකස් කිරීමට උපකාරී වුවද, බදු සහ ගාස්තු හරහා පවුල්වලටත් ව්‍යාපාරවලටත් අමතර පීඩනයක් ඇති කළේය. 2024 අවසානයේ රජයේ සහ රජයේ සහතිකය යටතේ තිබූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 102.4ක් බව ලෝක බැංකුව ඇස්තමේන්තු කළේය.

මෙවැනි පසුබිමක විදුලි බිල, ආහාර මිල, වැටුප්, රැකියා, දූෂණය සහ නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වීම පිළිබඳ පොරොන්දු මැතිවරණයේ ප්‍රධාන මාතෘකා වීම පුදුමයට කරුණක් නොවේ. ඒවා හුදු දේශපාලන සටන් පාඨ නොව, ජනතාව එදිනෙදා මුහුණ දුන් ගැටලු‍ විය.

එහෙත් පොරොන්දුවක් දීම පමණක් ප්‍රමාණවත් නැත. එය ඉටු කිරීමට වැය වන මුදල සොයාගන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කවදාද, එයින් ප්‍රතිලාභ ලබන්නේ කවුද, අවසානයේ එහි බර දරන්නේ කවුද යන්න ජනතාවට පැහැදිලි විය යුතුය. වැටුප් වැඩි කිරීම, සහනාධාර දීම, විදුලි ගාස්තු අඩු කිරීම හෝ බදු අඩු කිරීම වැනි යෝජනා රජයේ ආදායම් හා වියදම්වලට ඍජුව බලපාන නිසා ඒවායේ වියදම සහ මුදල් සපයාගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීම විශේෂයෙන් වැදගත්ය.

2024 සිට 2026 දක්වා වෙනස් වී ඇත්තේ කුමක්ද?

2026 වනවිට ලැබී ඇති නවතම දත්තවලින් පෙනෙන්නේ ඇතැම් අංශවල දියුණුවක් ඇති වී තිබෙන නමුත්, තවත් ගැටලු‍ ඉතිරි වී ඇති බවයි. 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය විය. 2026 දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 4.2ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළේය. එහෙත් බාහිර ආර්ථික තත්වය වඩා අභියෝගාත්මක වීම නිසා, 2026 වසරේ මුළු වර්ධනය සියයට 3ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබිණි. දැන් රට මුහුණ දෙන අභියෝගය වන්නේ වර්ධනය යළි ආරම්භ කිරීම පමණක් නොව, එය පවත්වාගෙන යමින් එහි ප්‍රතිලාභ වැඩි පිරිසකට ලබාදීමයි.

රැකියා: යහපත් වෙනසක් ඇතත් තවදුරටත් බැලිය යුතුයි

2025දී රැකියා තත්වය පිළිබඳ සංඛ්‍යාලේඛන යම් දියුණුවක් පෙන්නුම් කළේය. වැඩ කළ හැකි වයසේ ජනතාවගෙන් රැකියාවක නිරත වූ හෝ රැකියාවක් සොයමින් සිටි අයගේ ප්‍රතිශතය සියයට 49.4ක් වූ අතර, රැකියා විරහිත අනුපාතය සියයට 3.9ක් විය. 2024දී මෙම අගයන් පිළිවෙළින් සියයට 47.4ක් සහ සියයට 4.4ක් විය. මෙය යහපත් වෙනසකි. එහෙත් අලු‍තින් ඇති වූ රැකියා ස්ථාවරද, සැබෑ වැටුප් යථා තත්වයට පත්වී තිබේද, වැඩි කාන්තාවන් පිරිසක් රැකියාවලට එක්වී සිටිනවාද යන්න එම සංඛ්‍යා දෙකෙන් පමණක් දැනගත නොහැකිය.

දුප්පත්කම සහ පවුල්වල ජීවන තත්වය: තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ

2024දී ලෝක බැංකුව භාවිත කළ දුප්පත්කමේ මිනුම සමග ඍජුව සැසඳිය හැකි, 2026ට අදාළ නව ගෘහස්ථ සමීක්ෂණයක් තවමත් නැත. ඒ නිසා දුප්පත්කම කොපමණ අඩු වීදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම ඉක්මන් වැඩිය. ආර්ථිකය යළි වර්ධනය වීමෙන් පමණක් පවුල්වල ජීවන තත්වය සම්පූර්ණයෙන් යහපත් වී ඇතැයි තහවුරු කළ නොහැකිය. දුප්පත්කම, සැබෑ ආදායම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව ගැන තවදුරටත් සොයා බැලිය යුතුය.

උද්ධමනය සහ ජීවන වියදම: මිල ගණන් යළි ඉහළ යයි

2024 සහ 2025 කාලයේ උද්ධමනය අඩු වුවද, 2026දී එය යළි ඉහළ ගියේය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, වාර්ෂික උද්ධමනය 2026 ජූලි මාසයේ සියයට 7.3 සිට අගෝස්තු මාසයේ සියයට 8 දක්වා ඉහළ ගියේය. මධ්‍යම බැංකුව පෙන්වා දුන්නේ මෙයට ප්‍රධාන වශයෙන් ආහාර මිල ගණන් සංසන්දනය කිරීමේ පදනමේ වෙනස බලපෑ බවයි. අගෝස්තු මාසයේ ආහාර උද්ධමනය සියයට 8.5ක් විය. එබැවින් අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළ යාම ඍජුවම ලෝක තෙල් මිල ඉහළ යාම නිසා සිදුවූවක් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ. කෙසේ වෙතත්, මැද පෙරදිග ඇති වූ ගැටුම් ඉන්ධන ආනයන වියදම සහ සංචාරක ආදායම ඇතුළු ආර්ථික අංශවලට බලපා තිබේ.

උද්ධමන අනුපාතය පමණක් බලා ජීවන වියදම ගැන තීරණය කළ නොහැකිය. උද්ධමනය අඩු වුවත්, අර්බුදයට පෙර තිබූ මට්ටමට වඩා භාණ්ඩ මිල තවමත් ඉහළ නම් පවුල්වලට ජීවිතය ලාබදායී වූ බව දැනෙන්නේ නැත. ආදායමෙන් වැඩි කොටසක් අත්‍යවශ්‍ය දේවල් සඳහා වැය කරන අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට මෙය විශේෂයෙන් බලපායි.

ව්‍යාපාර සහ ආයෝජන

2024 වසර තුළ ව්‍යාපාර තත්වය පිළිබඳ අදහස් යහපත් අතට හැරී තිබිණි. මධ්‍යම බැංකුවේ ව්‍යාපාර සමීක්ෂණයේ ව්‍යාපාරික තත්ව දර්ශකය එම වසරේ පළමු කාර්තුවේ 99 සිට සිව්වැනි කාර්තුවේ 128 දක්වා ඉහළ ගියේය. මෙය ව්‍යාපාරික තත්වය ගැන ලැබුණු හොඳ සලකුණකි. එහෙත් එම දර්ශකයෙන් පමණක් ආයෝජකයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන් මැනිය නොහැකිය. බැංකු ණය, විදේශ ආයෝජන සහ පෞද්ගලික ආයෝජන වැනි දත්තවලින් ආර්ථිකයේ වෙනස් පැති පෙන්වයි.

2026 වනවිට ව්‍යාපාරවලට නැවතත් අවිනිශ්චිතතා මතු වී තිබිණි. මැද පෙරදිග සිදුවීම් බලශක්ති මිලටත්, විදේශ වෙළෙඳාමටත් බලපෑවේය. ව්‍යාපාරිකයන්ට දිගුකාලීනව ආයෝජනය කර ව්‍යාපාර පුළුල් කිරීමට නම්, ස්ථාවර ප්‍රතිපත්ති, හොඳින් ක්‍රියාත්මක වන ආයතන සහ පැහැදිලි ආයෝජන අවස්ථා අවශ්‍ය වේ.

විදේශ විනිමය තත්වය: ශක්තිමත් වී ඇතත් අවදානම ඉතිරිව තිබේ

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්වය අර්බුද සමයේ පැවති තත්වයට වඩා ශක්තිමත්ය. චීන මහජන බැංකුව සමග ඇති හුවමාරු පහසුකමද ඇතුළුව, රටේ දළ නිල සංචිත 2026 ජූලි මාසය අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6ක් බව මධ්‍යම බැංකුව වාර්තා කළේය.

එහෙත් 2026 මුල් මාස හත තුළ වෙළෙඳ භාණ්ඩ ආනයනයේ වටිනාකම අපනයන ආදායමට වඩා වැඩි වූ නිසා වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ එම කාලයේ එය ඩොලර් බිලියන 3.9ක් විය. එම කාලයේ සංචාරක ආදායම සියයට 11.5කින් අඩු වූ අතර, විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් වැදගත් විදේශ විනිමය මාර්ගයක් විය. එබැවින් තත්වය අර්බුද සමයට වඩා ස්ථාවර වුවද, ඉන්ධන මිල, සංචාරක ව්‍යාපාරය, විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්, ලෝක වෙළෙඳාම සහ දේශපාලන ගැටුම් මත එය තවමත් රඳා පවතී.

ණය බර සහ රජයට ඇති සීමා

2026දී රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100.1ක් පමණ වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබිණි. ණය බර ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කළද, එය තවමත් විශාල බරකි. ඒ නිසා වැටුප්, සහනාධාර, විදුලි ගාස්තු, බදු සහ රාජ්‍ය සේවා සඳහා රජයට කොපමණ මුදලක් වැය කළ හැකිද යන්න සීමා වේ.

මෙම සීමා තිබීමෙන් යම් පොරොන්දුවක් නිවැරදිද වැරදිද යන්න තීරණය වන්නේ නැත. එහෙත් එම පොරොන්දුව ඉටු කිරීමට වැය වන මුදල කොපමණද, ඒ මුදල සොයාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය කරයි.

පොරොන්දු ඉටු වූවාදැයි බලන්නේ කෙසේද?

පොරොන්දුවක් ඉටු වූවාද නැද්ද යන්න පමණක් බැලීමෙන් ප්‍රමාණවත් තක්සේරුවක් කළ නොහැකිය. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළාද, එයින් ප්‍රතිලාභ ලැබුවේ කවුද, ඒ සඳහා වැය වූයේ කොපමණ මුදලක්ද, ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් ඇති කළාද යන්නත් විමසිය යුතුය.

විදුලි ගාස්තු ගැන පොරොන්දුවක් තිබුණේ නම්, පාරිභෝගිකයන්ට ලැබුණු සහනයත් විදුලි ක්ෂේත්‍රයේ මුදල් තත්වයත් දෙකම සලකා බැලිය යුතුය. වැටුප් වැඩි කිරීම ගැන නම්, වැටුපේ රුපියල් ගණන වැඩි වූවාද යන්න පමණක් නොව, එම වැටුපෙන් පෙරට වඩා වැඩි දේ මිලදී ගත හැකිද යන්නත් බැලිය යුතුය. ආහාර මිල අඩු කිරීම ගැන නම්, මිල පාලන නිවේදනවලට අමතරව පවුල්වල වියදම සහ වෙළෙඳපොළේ භාණ්ඩ තිබේද යන්නත් විමසා බැලිය යුතුය.

දූෂණය නැති කිරීම සහ නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොරොන්දුද සැලකිල්ලෙන් ඇගයිය යුතුය. විමර්ශන හෝ අත්අඩංගුවට ගැනීම් කීයක් සිදුවීද යන්න පමණක් ප්‍රමාණවත් නොවේ. ආයතන ස්වාධීනව ක්‍රියා කරනවාද, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද, නඩු සාධාරණව විභාග වෙනවාද, නීතිය ඉදිරියේ හැමෝටම එක සේ සලකනවාද යන්නද සොයා බැලිය යුතුය.

Manthri.lk පවත්වාගෙන යන Anura Meter වැඩසටහන 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තෝරාගත් පොරොන්දු 30ක් පිළිබඳ පසු විපරම් කරයි. 2025 නොවැම්බර් මාසය සඳහා කළ තක්සේරුව අනුව, පොරොන්දු 10ක් ඉටු කර තිබූ අතර 10ක් ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නවයක් සම්බන්ධයෙන් ප්‍රගතියක් වාර්තා වී නොතිබූ අතර, එකක් අසාර්ථක ලෙස වර්ගීකරණය කර තිබිණි. මෙය තෝරාගත් පොරොන්දු කිහිපයක් පිළිබඳ නිශ්චිත අවස්ථාවක කළ තක්සේරුවකි. ආණ්ඩුවේ සියලු‍ පොරොන්දු හෝ සමස්ත කාර්යසාධනය පිළිබඳ සම්පූර්ණ තීන්දුවක් ලෙස එය සැලකිය නොහැකිය.

දෙවසරකට පසු: දියුණුවත් ඉතිරි අභියෝගත්

2024 සහ 2026 දත්ත සසඳන විට පැහැදිලි දියුණුවක් පෙනේ. ආර්ථික වර්ධනය යළි ආරම්භ වී 2025දීද පවත්වාගෙන ගොස් ඇත. රැකියා බලකායට එක්වූ පිරිස වැඩි වී ඇති අතර, රැකියා විරහිත අනුපාතය අඩු වී තිබේ. විදේශ සංචිත අර්බුද සමයට වඩා ශක්තිමත්ය. 2024 මුල් කාලයට සාපේක්ෂව ව්‍යාපාරික තත්වයද යහපත් විය. මේ දියුණුව පිළිගැනීම වැදගත්ය.

එහෙත් යථා තත්වයට පත්වීම තවමත් සම්පූර්ණ නැත. දුප්පත්කම බරපතළ ගැටලු‍වක්ව පවතී. පවුල්වල ජීවන තත්වය සම්පූර්ණයෙන් යහපත් වී ඇති බව පෙන්වන නව, ඍජුව සැසඳිය හැකි සංඛ්‍යාලේඛන තවමත් නොමැත. උද්ධමනය යළි ඉහළ ගොස් ඇත. රාජ්‍ය ණය බර විශාලය. වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජනද විදේශීය වෙනස්කම්වලට බලපාන සුළු තත්වයක පවතී.

ආර්ථික ස්ථාවරත්වය සහ පවුල්වල යහපැවැත්ම එකිනෙකට සම්බන්ධ වුවද, ඒ දෙක එකම දෙයක් නොවේ. ස්ථාවරත්වය ආර්ථිකය යළි ගොඩනැගීමට අවශ්‍ය පදනම සපයයි. එහෙත් එයින් ලැබෙන ප්‍රතිලාභ ඉක්මනින් සහ සාධාරණව ජනතාව වෙත ළඟා වන බවට එය සහතිකයක් නොවේ.

2024දී රට දැඩි අර්බුදයකින් ගොඩ එමින් සිටියද, බොහෝ පවුල්වලට එම ප්‍රකෘතිමත් වීමේ ප්‍රතිලාභ තවමත් දැනී නොතිබිණි. 2026 වනවිට ආර්ථිකයේ ඇතැම් අංශවල සැබෑ දියුණුවක් ඇති වී තිබේ. දැන් වැදගත් වන්නේ එම දියුණුව දුප්පත්කම අඩු කිරීමට, සැබෑ ආදායම් ඉහළ නැංවීමට, හොඳ රැකියා ඇති කිරීමට, අත්‍යවශ්‍ය දේ වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමට සහ පවුල් හා ව්‍යාපාර තුළ විශ්වාසය ගොඩනැගීමට උපකාරී වේද යන්නයි.

ආර්ථික වර්ධනය, විදේශ සංචිත සහ උද්ධමනය රටේ තත්වය තේරුම් ගැනීමට වැදගත් දත්ත වේ. එහෙත් ඒවා පමණක් ජනතාවගේ සැබෑ ජීවන අත්දැකීම විස්තර නොකරයි. දේශපාලන පොරොන්දුවක සැබෑ වටිනාකම තීරණය වන්නේ එය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියක් බවට පත් කර, ජනතාවගේ ජීවිතවලට මැනිය හැකි වෙනසක් ගෙන එන්නේද යන්න මතය.

2024දී දුන් පොරොන්දුවක් 2026දී මැනිය යුත්තේ එය ක්‍රියාත්මක කළාද, එයින් ලබාගත් ප්‍රතිඵල මොනවාද, ඒ වෙනස ජනතාවට දැනෙනවාද යන්න අනුවය.